රාජ්‍ය සේවා කොමිසමේ බලතල ලේකම්වරුන්ට – කැබිනට් තීරණයට රාජ්‍ය සේවක විරෝධය

16 Dec

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් වූ පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථානමාරුකිරීමේ, විනය පාලනය කිරීමේ හා සේවයෙන් පහකිරීමේ බලය කැබිනට් මණ්ඩල තීන්දුවක් අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරාදීම සුළු වශයෙන් හෝ ඉතුරුවී තිබුණු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය අහෝසිකිරීමක් බව රාජ්‍ය සේවා වෘත්තීය සංගම් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් රාවය කළ විමසුමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දන එපිටකඩුව ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය කුමන පක්ෂයක් හෝ ආණ්ඩුවක් බලයේ සිටියද තමන් අගය කරන බවත් නව බලය පැවරීමේ ගැසට් පත‍්‍රය අනුව එම ස්වාධිනත්වය ගැටලූ සහගත තත්ත්වයකට පත්කර ඇති බවත්ය. මෙම ගැසට් පත‍්‍රය පිළිබඳව සිය විධායක කමිටුව දෙසැම්බර් 08 දින සාකච්ඡා කළ බවත් එය වැඩිදුරටත් සාකච්ඡුා කිරීම සඳහා ශාඛා කාර්යාලවලට යොමුකළ බවත් මෙම මස අවසන් සතියට පෙර ඉරිදා පැවැත්වෙන සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කර ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කරන බවත්ය.

මෙම ගැසට් නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ප‍්‍රකාශ කරන්නේ දහඅටවන සංශෝධනය යටතේ රාජ්‍යසේවා කොමිසමේ ස්වාධීනත්වය උදුරාගනු ලැබූවද එහි යම්හෝ ස්වාධිනත්වයක් තිබූ බවත් මෙම ගැසට් නිවේදනය හරහා එයද අහෝසිකර ඇති බවයි. මෙම ගැසට් නිවේදනයෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සිදුකරන්නේ අමාත්‍යවරයාගේ වුවමනාවන් බවත් එවැනි වුවමනාවන් ඉටුකිරීම සඳහා පසුගිය කාලයේ රාජ්‍ය සේවා කොමිසම ඉඩ නොදුන් බවත් දූෂිත පත්වීම් විශාල වශයෙන්ම ඇත්තේ අධ්‍යාපන පද්ධතිය තුළ බවත්, අලූත් තත්ත්වක් මත රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය අහෝසිවී ගැත්තන් පිරිසක් ඉතිරිවන බවත්ය. මේ තත්ත්වය පරාජය කිරීම සඳහා ඉදිරියේදී රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කැඳවා උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවද ස්ටාලින් මහතා පැවසුවේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හිමි ඉහත සඳහන් බලතල අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඔවුන් විසින් බලය පවරන පුද්ගලයන්ට හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට ලබාදීමේ ගැසට් පත‍්‍රය මුද්‍රණයෙන් නිකුත් වූයේ දෙසැම්බර් 06 වැනිදා වන අතර අංක 1733/52 දරණ එම ගැසට් පත‍්‍රයේ දිනය වශයෙන් සඳහන් වන්නේ 2011 නොවැම්බර් 25 වැනිදාය.

ගැසට් පත‍්‍රයේ සඳහන් කරන්නේ 2011.11.16 දින පැවති කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු අදාළ බලතල අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා අනෙකුත් පුද්ගලයන්ට පවරන බවය.

Leave a comment