Archive | October, 2011

හමුදා බුද්ධි අංශ මාධ්‍යවේදීන් පිටුපස

28 Oct

ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව සහ ආරක්ෂක හමුදා පිළිබඳව විදේශ රටවල සිට ක‍්‍රියාත්මක වන වෙබ් අඩවි සඳහා තොරතුරු ලබාදෙන මාධ්‍යවේදීන් සෙවීමේ මෙහෙයුමක් හමුදා බුද්ධි අංශ විසින් ආරම්භ කර ඇතැ’යි වාර්තා වේ.
අදාළ වෙබ් අඩවිවලට තොරතුරු ලබාදෙනවායැ’යි උපකල්පනය කරන මාධ්‍යවේදීන්ගේ පසුබිම් තොරතුරු සෙවීම සඳහාත්, එම මාධ්‍යවේදීන් ඇසුරු කරන පුද්ගලයන් හා යන එන තැන් පිළිබඳව තොරතුරු සෙවීම සඳහාත් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් යොදවා ඇතැ’යි වාර්තා වන අතර ඊට අමතරව වෙබ් අඩවිවලට තොරතුරු ලබාදෙනවායැ’යි උපකල්පනය කරන මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතනවලට ඇමතුම් ලබාදී හමුදා බුද්ධි අංශයැ’යි කියාගත් පිරිසක් විවිධ විස්තර විමසන බවද වාර්තා වේ.
මේ ආකාරයට හමුදා බුද්ධි අංශ සාමාජිකයන්යැ’යි කියාගත් පිිරිසක් තමා පසුපස පන්නමින්, දිගින් දිගටම තොරතුරු විමසීම සිය ජීවිතයට තර්ජනයක් බව පවසමින් ‘මව්බිම’ කර්තෘ මණ්ඩල සාමාජික හා ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සභික මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඔක්තෝබර් 25 වැනි දින පොලිස් මූලස්ථානයට CIB IF 285/64 අංක යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද සහභාගි වී ඇත.
මේ පිළිබඳව රාවය කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පැමිණිල්ල පිළිබඳව ගල්කිස්ස පොලිස් අධිකාරිවරයා දැනුවත් කොට ඇති බවත්, ඔහු මගින් පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මේ පිළිබඳ විමර්ශන කරන බවත්ය.
මෙම පැමිණිල්ල පිළිබඳව යුද හමුදාව දැනුවත් කර ඇත්දැ’යි රාවය විමසූ විට පොලිස් අධිකාරිවරයා පැවසුවේ මේ පිළිබඳ විමර්ශන පොලීසිය මගින් සිදුකරන නමුත් යුද හමුදාවට මෙම පැමිණිල්ල පිළිබඳ දැනුවත් කොට නොමැති බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මහතාගෙන් රාවය කළ විමසුමකදී බි‍්‍රගේඩියර්වරයා පැවසුවේ එබඳු පැමිණිල්ලක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට ලැබී නොමැති බවත්, එනමුත් එවන් පැමිණිල්ලක් පොලීසිය මගින් ලැබුණොත් ඒ පිළිබඳ කළහැකි යමක් ඇතොත් කරන බවත්ය.
යුද හමුදාව කිසිදු හෝ ආකාරයක සිවිල් තොරතුරු රැුස් කරන්නේදැ’යි අප විමසූ විට යුද හමුදා ප‍්‍රකාශකවරයා පැවසුවේ මහජන ආරක්ෂාව සඳහා කිසියම් තොරතුරක් අවශ්‍යයැ’යි සිතුණොත් ඒ පිළිබඳ තොරතුරු බුද්ධි අංශ මගින් රැුස් කරන නමුත් තමන් මේ කියන අන්දමේ තොරතුරු රැුස් නොකරන බවයි.

ව්‍යාපාර පවරා ගැනීමේ පනත

28 Oct

පුද්ගලික අංශයේ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වන පනතක් කඩිමුඩියේ නීතිගත කිරීමට ආණ්ඩුව ක‍්‍රියාකරමින් තිබෙන බව සිංහල භාෂාවෙන් හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවෙන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලෙස පළකර තිබුණි.
ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට ඇමති මණ්ඩලය අනුමැතිය දී ඇති බවත්, හදිසි පනත් කෙටුම්පතක් ලෙස සලකා තීන්දුවක් ලබාගැනීම සඳහා එය පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාවල සඳහන් වී තිබුණි.
මෙය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, එම පනත අනුව පාඩු ලබන ව්‍යාපාර ගැන කටයුතු කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බවත් පවරාගනු ලබන ආයතනවලට වන්දි ගෙවීම හා ඒවා පවත්වාගෙන යෑමට භාරදෙන ආයතන තීරණය කිරීමේ බලය එම අධිකාරියට ලබාදෙන බවත් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ද ප‍්‍රකාශ කර තිබුණි.
මෙම පනතේ දර්ශනය කුමක්ද යන්න පැහැදිලි නැත. ඒ ගැන වන ප‍්‍රමාණවත් පැහැදිලි කිරීමක් තවමත් ආණ්ඩුව විසින් ද කර නැත. බැලූ බැල්මට ඇතිවන්නේ විචිකිච්ඡුාවකි. ව්‍යාපාර අත්පත් කරගැනීමේ නීතියක් මීට පෙර ද තිබුණි. ඒ නීතිය මගින් සමහර හොඳ දේවල් ද කරන විට ඊට වඩා නරක දේවල් ද සිදුවිය. දේශපාලන පළිගැනීම් සඳහා කැරෙන පවරා ගැනීම්ද සිදුවිය. මෙම පනත සඳහා තිබෙන අවශ්‍යතාව පිළිබඳව රටට කරන හොඳ පැහැදිලි කිරීමකින් තොරව, හා ව්‍යාපාරික අංශවල කැරෙන සංවාදයකින් තොරව මෙවැනි පනතක් කඩිමුඩියේ නීතිගත කරන විට සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
අනෙක් අතට ආණ්ඩුවේ සියලූ ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයක නොපවතී. සියලූ ව්‍යාපාර තිබිය යුත්තේ ලාභ ලබන තත්ත්වයක නම් ආණ්ඩුව පෞද්ගලික අංශයට අතගසන්නට පෙර ආණ්ඩුවේ සියලූ ව්‍යාපාර ලාභ ලබන තැනකට ගෙනා යුතුය.
ශ‍්‍රී ලංකාව විදේශ ආයෝජකයන්ගේ උනන්දුවට හේතුවන රටක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක මෙවැනි පනතක් විදේශ ආයෝජකයන් බියගන්වන සංඥාවක් ලෙස ක‍්‍රියාකළ හැකිය. මේ තත්ත්වය දේශීය ආයෝජකයන් කෙරෙහි ද බලපෑ හැකිය. ඒ නිසා ඒ සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන අර්ථකථනයක් ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුය.
පෞද්ගලික අංශයට මගපෙන්වීම් කිරීම වැරදි නැතත්, ඔවුන්ගේ ව්‍යාපාරවලට අනිසි ලෙස ඇඟිලි ගසන්නට යෑම සුදුසු නැත. පුද්ගලික අංශයේ සමහර සමාගම් රටේ ඉදිරි ගමනට ඉතාමත් හානි ලෙස ක‍්‍රියාකරන අවස්ථාද තිබෙන බවද පිළිගත යුතුය. එහෙත් එවැනි ප‍්‍රශ්නවලට තිබෙන විසඳුම ව්‍යාපාරික අංශය පොදුවේ බියගැන්වීමට හේතුවිය හැකි මෙවැනි පනතක් නීතිගත කිරීමද?
නිදර්ශනයක් වශයෙන් තාප විදුලි බලය සඳහා ඒවා සපයන සමාගම් විදුලිබල මණ්ඩලය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් මහජනයා පමණක් නොව රජයේ සම්පත්ද ගසාකෑමේ අරමුණින් විදුලිබල විෂයට සම්බන්ධ සමහර ඇමතිවරුන් හා නිලධාරීන්ගේ සහාය ඇතිව ඔවුන්ට ගෙවන විශාල ප‍්‍රතිලාභ හෝ අල්ලස් මත කූට ලෙස ඇති කරගන්නා ලද විනාශකාරී ගිවිසුම් ලෙස සැලකිය හැකිය. විදුලිබල මණ්ඩලය තිබෙන්නේ ඔවුන්ගෙන් විදුලිය මිලදී නොගෙන විදුලි සැපයුම පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකය. එම ව්‍යාපෘති සඳහා කරන ලද ආයෝජන වියදම්වලින් 90%ක්ම දරා තිබෙන්නේ විදුලිබල මණ්ඩලය වුවත් ආයෝජන වියදමට ගැළපෙන ප‍්‍රතිලාභ බෙදීමකින් තොරව සියලූ ප‍්‍රතිලාභ සමාගම් අයිතිකරුවන්ගේ සාක්කුවට ගලා යන ආකාරයට මෙම ගිවිසුම් ඇති කරගෙන තිබෙන්නේ කෙසේද යන්න ප‍්‍රහේළිකාවකි. අවසානයේ මේ අසාධාරණයේ බර පැටවී ඇත්තේද මහජනයාගේ කර මතය.
පුද්ගලික අංශයේ දක්නට ලැබෙන මෙවැනි කූට හා නොමනා ක‍්‍රියාකාරකම් පාලනය කිරීමේ අවශ්‍යතාවක් ඇතත් ඒ සඳහා තිබෙන හරි විසඳුම ව්‍යාපාර අත්පත් කරගැනීමේ බලය ආණ්ඩුවට ලබාදීමද යන්න ප‍්‍රශ්නයකි.

හමුදාව සමග සිදුකරන උතුරු නැගෙනහිර ඉඩම් කළමනාකරණය

28 Oct

ඔක්තෝබර් 24 වැනිදා රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී.ඒ. සුමන්තිරන් මහතා ඉල්ලා සිටියේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ බලරහිත කර අවලංගු කරන ලෙසයි.

පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් එතෙක් අදාළ වැඩපිළිවෙළට අයත් ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ චක‍්‍රලේඛනයේ සඳහන් කිසිදු පියවරක් නොගන්නා ලෙස අතුරු නියෝගයක් පනවන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණි.
ඉඩම් පිළිබඳ පළාත් සභා සතු බලතල පාර්ලිමේන්තුවෙන් නොවිමසා ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ බලය අභියෝගයට ලක් කරන්නක් බවත් පෙත්සමේ සඳහන්ය.

මෙම වැඩපිළිවෙළ සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් යොදාගැනීමට නියමිත බවත්, නිසියාකාරව ගෙවීම් කර නැති බලපත‍්‍රලාභී ඉඩම්වල අයිතිය අහෝසි වන බව අදාළ චක‍්‍රලේඛයේ සඳහන් වන බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව ඉඩම් කොමසාරිස් ජෙනරාල් ආර්.පී.ආර්. රාජපක්ෂ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ටී. අශෝක පීරිස්, උතුරු පළාත් ඉඩම් කොමසාරිස් පී. නයනාන්දන් නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් අනුර ධර්මදාස, ත‍්‍රිවිධ හමුදාපතිවරු හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

ඉඩම් කොමසාරිස් ජෙනරාල් ආර්.පී.ආර්. රාජපක්ෂ 2011 ජූලි මස 22 දින සහිතව චක‍්‍රලේඛ 2011/04 යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට හා සහකාර රජයේ ඒජන්තවරුන්ට දන්වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත්, ඒ බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඔහුගේ 2011 මැයි 24 දින දරන ලිපියෙන් දැනුම් දුන් බවත්ය.

එම චක‍්‍රලේඛයට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර අවසන් වන තෙක් එම දෙපළාතේ අලූතින් ඉඩම් බෙදාදීම් තාවකාලිකව අත්හිටුවා ඇත.

නමුදු රජයේ අනුමත සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීම සහ ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීම සිදුකරන බව චක‍්‍රලේඛයේ සඳහන්ය.

නැවත පදිංචි කරන ලද ජනතාවගේ ඉඩම්වල අයිතිය සනාථ කැරෙන ලියවිලි විනාශ වී හෝ අස්ථානගතවී තිබීම, ගැටුම් නිසා ප‍්‍රදේශ හැරගිය පුද්ගලයන්ගේ ඉඩම් වෙනත් පුද්ගලයන් වෙත ලබාදී තිබීම හෝ අනවසරකරුවන් විසින් අල්ලා ගෙන තිබීම, ත‍්‍රස්තවාදී සංවිධානවල බලපෑම මත ඉඩම් අයිතිය වෙනස් කිරීම ආදිය සිදුව තිබීම, සමහර ඉඩම්වලට එක් පාර්ශ්වයකට වැඩි ගණනක් අයිතිවාසිකම් කියාපෑම යන ගැටලූ මෙවැනි වැඩපිළිවෙළකට හේතුව බව චක‍්‍රලේඛයේ සඳහන්ය.
ඒ අනුව එම ගැටලූ විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීරණයන් පහත පරිදිය. ගැටුම් පැවති ප‍්‍රදේශවලින් ඉවත් වූ පුද්ගලයන්ට නැවත ඔවුන්ගේ මුල් ඉඩම් ලබාදිය යුතුය. ප‍්‍රායෝගික තත්ත්වයන් මත එසේ ලබාදීමට අපහසු අවස්ථාවලදී පමණක් ආසන්නයෙන් විකල්ප ඉඩම් ලබාදිය යුතුය.

ත‍්‍රස්තවාදී බලපෑම මත ලබාදී ඇති ඉඩම් නීත්‍යනුකූල නැති සේ සලකා ක‍්‍රියා කළ යුතුය.
වැඩපිළිවෙළ යටතේ රජයේ බලපත‍්‍ර හා දීමනා පත‍්‍ර ඉඩම් පිළිබඳව කටයුතු කිරීමද ඒවාහී ගැටලූ විසඳීම සඳහා පරීක්ෂණ කිරීමේ ක‍්‍රමවේදයක් හා කමිටුද තීරණය කර ඇත. ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම පරීක්ෂණ කමිටුවට ප‍්‍රාදේශීය සිවිල් සම්බන්ධීකරණ නිලධාරී නම්වූ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයෙක්ද ඇතුළත් කර ඇති අතර පරීක්ෂණවලට සහභාගිවීම සඳහා ස්වාධීනයැ’යි නම් කරන නිරීක්ෂණ මණ්ඩලයක්ද පත් කරනු ලබයි. නමුදු එහි සාමාජිකයන් විය හැක්කේ ශ‍්‍රී ලංකා පොලීසිය හෝ ත‍්‍රිවිධ හමුදාව විසින් යුද සේවා වසම්වල පවත්වාගෙන යනු ලබන සිවිල් කමිටුවල සාමාජිකයන්ගෙනි. අවසන විරෝධතා පරීක්ෂාවට අභියාචනා මණ්ඩලයක්ද පත් කරනු ලබන අතර පළාත් ඉඩම් කොමසාරිස්ගේ සහභාගිත්වයෙන් යුත් එහි සෙසු සාමාජිකයන් වන්නේ දිස්ත‍්‍රික් ලේකම් හෝ දිසාපති විසින් නම් කරනු ලබන සාමාජිකයෙක් හා ආරක්ෂක හමුදා නිලධාරියකු වන ප‍්‍රාදේශීය සිවිල් සම්බන්ධීකරණ නිලධාරියාය.

මේ වැඩපිළිවෙළ ගැන උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතරයක් වූ ප‍්‍රසාදය දිනාගෙන සිටින දෙමළ ජාතික සන්ධානය එක හෙළා විරුද්ධය. රටේ ඉඩම් පිිළිබඳ නීතිමය තත්ත්වය මත ඊට විරෝධය දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පා.ම. අප්පාතුරෙයි විනයාගමූර්ති මහතා ඔක්තෝබර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසුවේ මෙවැන්නකි.
ඉඩම් හිමිකම් ලියාපදිංචි පනත අනුව මෙම වැඩපිළිවෙළ නීති විරෝධී එකකි. පනත අනුව මුලින්ම ඉඩම් මැනීම සිදුකළ යුතුය. එම ඉඩම් පිළිබඳ විස්තර ඉල්ලා පෝරම නිකුත් කළ හැක්කේ ඉන්පසුවය. ඉඩම් සඳහා හිමිකම් නොපෑවොත් එම ඉඩම් රජය සතු වන්නේය. එම තත්ත්වය වඩා භයානකය. එයට හේතුව උතුරු නැගෙනහිර ඉඩම් හිමිකම් ඇති ලක්ෂ ගණනක් තවමත් විදේශයන්වල සිටින්නේය. තවත් පිරිසක් තවමත් නැවත පදිංචි නොකර කඳවුරුවල සිටින්නේය. ස්ථිරවම නැවත පදිංචි නොකළ තවත් විශාල පිරිසක් ඔවුන්ගේ ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවාසවල සිටින්නේය. උතුරු හා නැගෙනහිර අධි ආරක්ෂක කලාප හේතුවෙන් සිය ගම්බිම්වලට යා නොහැකි තවත් පිරිසක් සිටින්නේය. ග‍්‍රාම නිලධාරීන් හරහා බෙදාහරිනු ලබන ඉඩම් සඳහා හිමිකම් පෑමේ පෝරම මේ පිරිසට ලැබෙන්නේ නැත.

ඉඩම් සඳහා හිමිකම් පෑමට නොලැබෙන පිරිස ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් අප්පාතුරෙයි විනයාගමූර්ති මන්ත‍්‍රීවරයා මෙසේ කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක දැක්වෙන අයුරින් යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත‍්‍රික්කවල යළි පදිංචි කළායැ’යි කියන 117888ක් ස්ථිර වශයෙන් යළි පදිංචි කර නැති අතර ඔවුන් ජීවත්වන්නේ ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස්වලය.

මන්නාරම් දිස්ත‍්‍රික්කයේ මුල්ලිකුලම්හි වැසියන්ට එහි යෑමට හමුදාව තවමත් ඉඩදී නැත. වන්නියේ තිරමුරුගන්ඩි වැසියන්ට යළි පදිංචිවීම ප‍්‍රශ්නයක් වී ඇත. ඒ එම ගම්මානය මැදින් හමුදාව අලූත් පාරක් ඉදිකරමින් පැවතීමය.

යාපනයේ වලිගාමම් උතුරේ අධි ආරක්ෂක කලාප හේතුවෙන් 1990 වර්ෂයේ සිට එම ප‍්‍රදේශයේ නැවත පදිංචිවීමට 26,000කට ආසන්න පිරිසකට හැකිවී නැත. ත‍්‍රිකුණාමලයේදී සාම්පූර්හි 8000කට ආසන්න වැසියන් පිරිසකට තවමත් එහි ඇතුළුවීමට ඉඩ නැත.

පාර්ලිමේන්තුවට කරන ලද මන්ත‍්‍රීවරයාගේ පැහැදිලි කිරීමට අමතරව උතුරු නැගෙනහිර ඉඩම් හිමි විදේශගත දෙමළ ජනතාවට හා කොළඹ හා අවට වෙසෙන දෙමළ ජනතාවටද ඉඩම් සඳහා හිමිකම්පෑමේදී ගැටලූවකට මුහුණදීමට සිදුවනු ඇත.

ආණ්ඩුව සද්භාවයෙන් සිදුකරනවායැ’යි කියන මේ ඉඩම් වැඩපිළිවෙළ ගැන ගැටලූ කිහිපයක්ම තිබේ. එකක් මේ ඉඩම් හිමිකම් ලබාදීමේ වැඩපිළිවෙළට ආරක්ෂක අංශ සහභාගි කර ගැනීමය. ආරක්ෂක අංශ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනයා තුළ ඇත්තේ ඉතා හොඳ ප‍්‍රතිචාරයක් නොවේ. එමෙන්ම යුද්ධයේ අවසාන භාගය වන විට ශ‍්‍රී ලංකාවේ ති‍්‍රවිධ හමුදාව යනු තනිකරම සිංහලකරණයට ලක්වූ එකක් බව අමුතුවෙන් කිවයුතු නැත. හමුදා බලහත්කාරකම් පිළිබඳව දකුණටත් වඩා අත්දැකීම් ඇත්තේ උතුරු හා නැගෙනහිරටය. යුද්ධයේ අවසානයත් සමග විශාල හමුදා කඳවුරු සංඛ්‍යාවක් උතුරු නැගෙනහිර ස්ථාපිත වූයේය. ඊට සමගාමීව සමහර ස්ථානවල හමුදා ජනපද ද ස්ථාපිත වූයේය. ආරක්ෂක අංශවල සහායෙන් සමහර ස්ථානවල සිංහල ගම්මානද ඇති කරනු ලැබීය. තවදුරටත් මේ කටයුතු සිදුනොවේයැ’යි සහතිකයක් කාටවත් නැත. යුද්ධය අවසන්යැ’යි කීවත්, හදිසි නීතිය ඉවත් කළායැ’යි කීවත් උතුරු නැගෙනහිර ආරක්ෂක මුර කපොලූ හා සෝදිසි කිරීම් පවතින්නේය.

ඉඩම් පිළිබඳ බිය තවත් හේතුවක්ය. දකුණේදී අද ආණ්ඩුව සිදුකරමින් පවතින්නේ සංවර්ධන ව්‍යාපෘතියැ’යි පවසමින් විදේශීය හා දේශීය ව්‍යාපාරිකයන් සඳහා මහා පරිමාණයෙන් ඉඩම් ලබාදීමය. ඒ සඳහා හොඳින් හෝ නරකින් ජනතාව එලවා දමන බව පසුගිය අත්දැකීම් අපට පසක් කරයි.
අනෙක් අතට දෙමළ ජාතික සන්ධානය දැනට ප‍්‍රශ්න නොකළද පළාත් සභා සතු ඉඩම් පිළිබඳ බලය ප‍්‍රශ්නාර්ථයක්ව මතුවේ. ආණ්ඩුවේ හුරතලයකු වන නැගෙනහිර මහ ඇමති පිල්ලෙයාන් පළාත් සභාව සතු ඉඩම් බලතල නොඉල්ලූවද, ඉදිරියේදී ඇතිවන උතුරු පළාත් සභාවකදී ඉඩම් බලය ප‍්‍රමුඛ ස්ථානයක් ගනු ලැබීම වැළැක්විය නොහැකිය.

නීතියට අදාළ කරුණු කෙසේ වුවද උතුරු නැගෙනහිර ඉඩම් පිළිබඳ භුක්ති අයිතියක් රටේ වෙනත් ප‍්‍රදේශවලදී මෙන්ම එම ප‍්‍රදේශවල ජනයාටද හිමිය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ බහුතර දෙමළ ජනයාගේ නියෝජිතයන් වන දෙමළ ජාතික සන්ධානය සිය විරෝධතා හා උපවාසවලදී මේ හිමිකම පිළිබඳ සාකච්ඡුාවද ඉදිරියට ගත යුතුය. මන්ද උතුරු නැගෙනහිර රජයේ ඉඩම් පිළිබඳ පළමු උරුමක්කරුවන් එම ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව වන බැවින්ය.

අපට පිළිතුරු සොයා ගැනීමට නොහැකි ගැටලූව වන්නේ ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ උතුරු-නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුව පළමුවෙන් ක‍්‍රියාත්මක කරන්න යන්නේ ඇයිද යන්නය. මන්ද යුද්ධය නිසා විවිධාකාරයෙන් අවතැන් වූ එම ප‍්‍රදේශවල ජනයා තවමත් සම්පූර්ණ වශයෙන්ම සිය ගම්බිම්වල නැවත පදිංචි වී හෝ නැවත පදිංචි කර හෝ නැති තත්ත්වයක් පවතින බැවිනි.

මේ රටේ තවමත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සුදුසු තත්වයක් නිර්මාණය වී නැහැ

28 Oct

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර

 

 

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් අනවශ්‍යයැයි ඔබ සිතනවාද?
අධ්‍යාපනය කියන දේ සාකච්ඡුා කළ යුත්තේ රටක ප‍්‍රතිපත්ති සමඟ. ප‍්‍රතිපත්ති පිළිබඳ කතාකරනකොට ඒවාට අදාළව විද්වත් ආයතන තිබෙනවා. එම ආයතන සමඟ සාකච්ඡුා නොකර ගත්තු හැම තීරණයක්ම අවසන් වෙලා තිබෙන්නේ ගැටුම්වලින්. මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමත් ඒ වගේ දෙයක්. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ කරනවා නම් ඒ පිළිබඳ සාකච්ඡුා කළ යුත්තේ කුමන ආයතන සමගද කියන දේ විශේෂයි. වෙනත් අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර වගේ නෙමෙයි ලෝකය පුරාම වෛද්‍ය අධ්‍යාපනයට විශේෂ තැනක් හිමි වෙන්නේ මේකෙන් බිහිවෙන්නේ වෛද්‍යවරුන් නිසා අපි මොවුන්ට භාර දෙන්නේ ජනතාවගේ ජීවිත. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය හා බටහිර වෛද්‍ය කර්මය පාලනය කරන්නේ හා ඒවායේ ප‍්‍රමිතිය ආරක්‍ෂා කරන්නේ වෛද්‍ය සභාව මගින්. ඒ වගේම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, නියෝජනය කරන ආයතන 38 ක් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෛද්‍ය අධ්‍යාපන සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. මේ අයත් එක්ක කතා කරන්නේ නැතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරනවාද නැද්ද කියන එක තීරණය කරන්න බැහැ. මේ අවස්ථාවේ මූලික වශයෙන් තීරණය කරන්නට  ඕන ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අවශ්‍යද කියන එක. අපි අතීතයට ගියොත් 1980 ගණන්වල රාගම පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් ආරම්භ කළා. අවසාන වශයෙන් මේ රටට නරක ඉතිහාසයක් අත්කර දීලා තමයි ඒ ආයතනය වැහෙන්නේ. මිනිස්සු මැරුණා. ඒ වගේ බරපතළ තත්ත්වයන් සිදුවුණා ඒ තුළ. ඊට පස්සෙ නැවත එවන් තත්ත්වයක් ඇති නොවෙන්න කමිටුවක් පත් කළා. ඒක මහාචාර්යවරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැනි පිරිසක් අනියුක්ත කරනු ලැබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුවක්. එම කමිටුව ඉදිරිපත් කළ අවසන් වාර්තාවෙන් නිර්දේශ කළා ඒ අවස්ථාවේ එනම් 1999 වන විට රජයේ වෛද්‍ය පීඨ හයෙන් පිටවන වෛද්‍යවරුන් 900 දෙනා හොඳටම ප‍්‍රමාණවත් කියලා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ පිහිටුවීමට හෝ අවසරදීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් එම කමිටුව නිර්දේශ කළා. අපි කියන්නේ නැහැ මින් ඉදිරියට ඒ නිර්දේශ ඒ විදිහටම තිබිය යුතුයි කියලා. හැමදාම ඒ නිර්දේශ ඒ විදිහටම තිබිය යුතුයි කියලා. නමුත් අද වන විට එම කමිටුවේ නිර්දේශවලට එහා ගිහින් රජයේ වෛද්‍ය පීඨ දෙකක් පිහිටුවලා තිබෙනවා. එකක් රජරට වෛද්‍යපීඨය. අනෙක නැගෙනහිර වෛද්‍ය පීඨය. නමුත් අද වන තෙක් වසර 8ක් තිස්සේ රජරට වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් පිහිටුවන්න බැරිව තිබෙනවා. ශිෂ්‍යයන් කතා නොකළත් නැනෙහිර වෛද්‍ය පීඨයේ තත්ත්වය ඊටත් දරුණුයි. එතකොට රජයක් හැටියට අපි අපොහොසත් වෙලා තිබෙනවා නියමිත කාලවකවානුව තුළදී එම වෛද්‍ය පීඨ දෙක සාර්ථකව ක‍්‍රියාත්මක කරන්න. එහෙනම් අපට පුළුවන්ද මේ තත්ත්වයන් එක්ක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කොළඹ, පේරාදෙණිය, ජ’පුර, රුහුණ කියන විශ්වවිද්‍යාලවල අචාර්යවරුන් තමයි උගන්වන්නේ. අද තිබෙන වැටුප් තල මත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අචාර්යවරු යොමුවීම හරහා රජරට වැසී යාමේ අවධානමක් තිබෙනවා. තව එකක් පටන්ගත්තොත් තවත් වෛද්‍ය පීඨයක් වැසේවි.

නියම විදිහට ලකුණු ගත්තු සිසුන් සිටින රජරට හා නැගෙනහිර වෛද්‍යපීඨ වසා දමලා එක ළකුණක් අඩුවෙන් ගත්තු ළමයි වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් අරිනවාද කියන එක මේ රටේ ජනතාව තීරණය කළ යුත්තක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපි දකින්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කළ යුතු තත්ත්වයක් තවමත් රටේ නිර්මාණය වෙලා නැහැ. ඒකට හේතුව තමයි බී ඕඅයි එක දන්නේ නැහැ මේකට අනුමැතිය ගන්න  ඕන සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද කියලා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම දන්නෙනැහැ මේකට අනුමැතිය ගන්නේ වෛද්‍ය සභාවෙන්ද කියලා. වෛද්‍ය පීඨයත් ඇරඹීමට මොකක්ද තිබිය යුතු නීතිය කියලා කවුරුත් දන්නේ නැහැ. ඒකට නීති සම්පාදනය වෙලත් නැහැ. එවන් අවස්ථාවක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය ඇරඹීම විනාශයකට මුලපිරීමක් කියලයි අපි හිතන්නේ.

නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවක් ලංකාව තුළ පැවතියත් අද වන විට ජනතාවට සෞඛ්‍ය සේවාව දැනෙන්නේ නැහැ. ඒකට හේතුව?
ලංකාව දියුණුවෙමින් පවතින රටක්. ඒ දියුණුවෙමින් පවතින රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් හා නිදහස් අධ්‍යාපනයක් අපි ජනතාවට ලබා දෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තුළ අපි ළඟා කරගත් බොහෝ දේ තිබෙනවා. අපේ සෞඛ්‍ය සේවය අපි සසඳන්නේ ඉන්දියාව, පකිස්තානය, හෝ බංගලාදේශය සමඟ නෙමෙයි. එංගලන්තය හා ඇමෙරිකාව එක්ක. වෛද්‍යවරුන්ගේ හා අනෙක් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීමත් එක්ක අපි ලෝකේ ඉතාමත් ඉහළ මට්ටමේ අවම මාතෘ හා ළදරු මරණ අනුපාතිකයක් ලබාගෙන තිබෙනවා. ආයු අපේක්‍ෂාව අවුරුදු 70 කට වැඩියි.

අපේ නිවාරණ සෞඛ්‍ය ගත්තොත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දරුවෙක් ලැබෙන්නට සිටින මවක් ඉන්න සෑම නිවසකටම යනවා. හාම 75000 කටම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයක් පිහිටුවලා තිබෙනවා. විනාඩි කිහිපයක් ඇතුළතදී ළඟා විය හැකි රෝහලක්  ඕනම ප‍්‍රදේශයක තිබෙනවා. ඒ හැම රෝහලකම සුදුසුකම්ලත් වෛද්‍යවරු සිටිනවා. යුද්දෙ පවතිද්දි පවා යාපනය, කිලිනොච්චි, වව්නියා හා මඩකලපු ප‍්‍රදේශවලට පවා උසස් සෞඛ්‍ය සේවයක් අපි ලබා දුන්නා.

ජනතාවට මේක දැනෙන්නේ නැති කාරණාවක් තිබෙනවා. ඒක තමයි පරිපාලනයේ දුර්වලතා. රටේ සිටින වෛද්‍යවරු ප‍්‍රමාණය දන්නෙ නැහැ. මේ අයගේ බෙදීම කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. වෛද්‍යවරු 16000ක් ඉන්නවා. ඒත් මොවුන්ගේ දත්ත ගබඩා කරලා නැහැ.

රෝහලට ගියහම බෙහෙත් නැහැ කියලා හරවලා එවනවා. සමහර පරීක්‍ෂණ පිටින් කරගෙන එන්න කියනවා. මිනිස්සුන්ට තමන්ට සෞඛ්‍ය සේවාව ලැබෙන්නේ නැහැ කියන එක ඇඟට දැනෙන්නේ ඒකයි.

ටෙන්ඩර් පටිපාටියේ තිබෙන දූෂණ වගේම සේනක බිබිලේ මැතිතුමා ඉපදුණු රටවුණාට නිසි ඖෂධ ප‍්‍රතිපත්තියක් නීතිගත නොවී තිබීම කියන මේ සියලූ කාරණා තමයි මිනිස්සුන්ට සෞඛ්‍ය සේවය නොදැනෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි ඖෂධ ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අපේ වෛද්‍යවරු දායක වෙලා තිබෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමාට එය ලබා දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළම අධ්‍යක්‍ෂ තනතුරු කිහිපයක් ඇතුළු පරිපාලන තනතුරු පුරප්පාඩු වී තිබීමත් ගැටලූ සහගතයි.

ජනතාවට ප‍්‍රතිකාර ලබාගැනීමට තරම් ප‍්‍රමාණවත් විශේෂඥ වෛද්‍යවරු රටේ නැහැ. හිඟයක් පවතිනවා. උරස් ශල්‍ය වෛද්‍යවරු සිටින්නේ ලංකාවටම දෙන්නයි. ස්නායු ශල්‍ය වෛද්‍යවරු සිටින්නේ දහයකටත් අඩු ප‍්‍රමාණයක්.

ඒකට ප‍්‍රධාන හේතුව තමයි රටේ විශේෂඥ වෛද්‍යවරු බිහිවන එක සීමා කර තිබීම. දක්‍ෂ වෛද්‍යවරු ඉන්නවා අවස්ථාවක් ලැබෙන්නේ නැතිව. විශ්වවිද්‍යාල 8 ටම එක පශ්චාත් උපාධි ආයතනයයි තියෙන්නේ. අපි උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා තවත් වෛද්‍යපීඨයකට අනුබද්ධව පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවන්න කියලා. අවුරුදු 10 ක සැලැස්මක් මේ සඳහා අවශ්‍යයි. විශේෂඥවෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 7ක් 8ක් ගත වෙනවා. දැන් සිටම මේ සඳහා සැලැස්මක් සෑදිය යුතුයි.

සුළු රෝගී තත්ත්වයකදී පවා මිනිසුන් අද යොමුවන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවන් වෙතයි. නමුත් තවමත් එය නියාමනය කිරීමට ව්‍යුහයක් සකස් වී නැහැ. පෞද්ගලික වෛද්‍ය සේවාවන් නියාමනය වියයුතු නැත්ද?
මේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවය අනිවාර්යයෙන්ම නියාමනය විය යුතුයි. අපි කොච්චර කැපවීමකින් රජයේ රෝහල්වල සේවය කළත් බොහෝ විට අපට දෝෂාරෝපණ විවේචන එල්ල වෙන්නේ පෞද්ගලික වෛද්‍ය සේවය හරහායි. ඒ නිසා මෙය නියාමනය විය යුතුමයි කියා අපි සිතනවා.
2006 දී පෞද්ගලික වෛද්‍ය ආයතන පනත ගෙනාවා. අපි මේ ආයතනය සඳහා අපේ සංශෝධන ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා. රටේ උසස් ගණයේ පෞද්ගලික වෛද්‍ය සේවාවක් පවත්වාගෙනයාම අපේක්‍ෂාවෙන් මේ සංශෝධන ඉදිරිපත් කරලා දැනට අවුරුදු 4ක් වෙනවා. මේ ආයතනය නාමික ආයතනයක් වශයෙන් පමණයි පවතින්නේ. මේ වන තෙක් සංශෝධන සහිතව නීති මගින් ස්ථාපිත වෙලා නැහැ.

ඒ වගේම තමයි අද කැස්ස හෙම්බිරිස්සාවටත් විශේෂඥ වෛද්‍යවරුන් ළඟට රෝගීන් අරන් යනවා. එවිට ඔහුට බලන්න සිදුවන රෝගීන් ප‍්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. විශේෂඥවරයාගේ අවධානයට ලක්විය යුතු රෝගියාට අවශ්‍ය අවධානය එවිට ලැබෙන්නේ නැහැ. එංගලන්තය ඇතුළු දියුණු රටවල සාමාන්‍ය වෛද්‍යවරයෙක් විසින් ලබා දෙන ලිපියක් හරහා පමණයි විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත රෝගියෙක් යොමු කරන්නේ. ඒ වගේම සමහර රෝගීන් දන්නෙ නැහැ තමන්ට තියෙන ලෙඬේට බෙහෙත් ගන්න  ඕන මොන වෛද්‍යවරයාගෙන්ද කියලා. සමහර වෙලාවට මිගේ‍්‍රන්වලටත් අංශභාගයටත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට යනවා. මේ තත්ත්වය නියාමනය විය යුතුයි අනිවාර්යෙන්ම. සෞඛ්‍ය අමාත්‍යාංශයක්, රජයක් තිබෙන්නේ මේකට තමයි.

මේ වන විට ලංකාව තුළ හොර වෛද්‍යවරු 30000 ක් සිටිනවා. යාග හෝමවලින් පිළිකා හොඳ කරන, ඉන්දියානු ක‍්‍රමේට, චීන ක‍්‍රමේට කියමින් ලෙඩ හොඳකරන පුද්ගලයන් පුවත්පත්වල දැන්වීම් පවා පළ කරනවා. මේ ආකාරයෙන් රටක වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. මුලින්ම මේ හොරු ප‍්‍රමාණය අල්ලගන්න  ඕන.

මා පෞද්ගලිකව විශ්වාසකරන දේ තමයි දියුණු රටවල වගේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ අනුමැතිය සහිතව විශේෂඥවෛද්‍යවරයෙකු වෙත යොමුවන ක‍්‍රමයක් ලංකාවේත් නිර්මාණය කළ යුතු බව. එතකොට තමයි රෝගීන්ට අපහසුවකින් තොරව සෞඛ්‍ය සේවාව ලබා ගන්න පුළුවන්.

ඇක්ට් 16 විභාගය අසමත්ව සිටින විදේශ වෛද්‍ය උපාධිධාරීන් ගේ සේවය ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ලබා ගැනීමේ කිසියම් හෝ ක‍්‍රමවේදයක් තිබෙනවාද?
වෛද්‍යවරුන් හදනවා කියන එකට විකල්ප මාර්ග නැහැ. වෛද්‍ය සභාව සිදුකරන්නේ වෛද්‍යවරුන්ව ආරක්‍ෂා කිරීම නොවෙයි. මිලියන 20 ක් ජනතාවට ආරක්‍ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීම තමයි වෛද්‍ය සභාව සිදුකරන්නේ. වෛද්‍ය සභාව සහ අපි බලන්නේ රෝගියෙකුගේ ජීවිතය නැතිකරන්නේ නැතුව බේරන්න පුළුවන් ක‍්‍රමවේදයක් ගැන. ඇක්ට් 16 පාස් වෙලා එන වෛද්‍යවරයෙකුට සමහරවිට කිලිනොච්චිය වගේ ප‍්‍රදේශවල තනියම පවා වැඩ කරන්න වෙනවා. ඉතින් ඔහුට රෝගියෙකුගේ ජීවිතය බේරෙගන්න බැරිනම් ඇතිවන තත්ත්වය මොකක්ද? එක්කෙනෙක්ට වෛද්‍යවරයෙක් වීමට අනුමැතිය දීම තුළ තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බිලිගන්න ඉඩදෙන්න පුළුවන්ද? එතැනදීයි වෛද්‍ය සභාව දැඩි තීරණයක ඉන්නේ. ඒ නීතිවලට පිටින් මානුෂික හේතු මත වෛද්‍යවරු බිහිකරන්න බැහැ.

වෛද්‍යවරයෙකුට අවශ්‍ය මූලික දැනුම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඇක්ට් 16 විභාගයේ සමත් වීමේ ලකුණු ප‍්‍රමාණය 45 දක්වා පහත දැමීම ගැන අපි වෛද්‍ය සභාව සමඟ එකඟ නැහැ.

එංගලන්තයේ අපි දකිනවා ඒ රටට පිටින් පැමිණෙන හෝ ඒ රටේ වෛද්‍යවරුන්ට උපාධියේ තත්ත්වය හැකිතාක් උසස් කොට පවත්වාගැනීම සඳහා විභාග තව තවත් අමාරු කරනවා.

අපිත් කළ යුත්තේ සමත් කරන ළකුණු ප‍්‍රමාණය 45 දක්වා අඩු කිරීම නෙමෙයි. ඔවුන්ට සමත් වීමට තරම් දැනුමක් නැත්තම් දැනුම ලබා දීලා මේ අය විභාගය සමත් වෙන ක‍්‍රමයක් හොයාගන්න එකයි.

ඉන්දියාවේ මූලික සුදුසුකම් සපුරා නැති අයට වෛද්‍ය උපාධි හදාරන්න විදේශ රටවලට යන්න දෙන්නේ නැහැ. මේ රටේ විභාග අසමත් වුණු අයත් පිටරට ගිහින් උපාධි අරන් එනවා. ඒ අයට ඇක්ට් 16 පාස් වෙන්න බැහැ. රටේ ජනතාවගේ පැත්තෙන් හිතනවානම් අපි කළ යුත්තේ කොහොම හරි පාස් කරන එක නෙමෙයි. වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒක පහළට දාන්න බැහැ.

ඇක්ට් 16 විභාගෙදී විශේෂඥ දැනුමක් බලන්නේ නැහැ. ළමා රෝග, මාතෘ රෝග, කායික විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව හා මානසික විද්‍යාව කියන දේවල මූලික දැනුම පමණයි බලන්නේ. ඒ දැනුම නැතුව වෛද්‍යවරයෙක් වෙන්න බැහැ.

වෛද්‍ය අධ්‍යාපනය කර්මාන්තයක් හැටියට හොඳටම කරන්නේ එංගලන්තයයි  ඕස්ටේ‍්‍රලියාවයි. ඒවායේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ එකක් හෝ දෙකක් පමණයි. ඒවාට මුදල් එන්නේ රාජ්‍ය ආයතන හරහා.

ඉතින් අපිට බැරිද කොළඹ වෛද්‍ය පීඨය පුළුල් කරලා පිටරට සිසුන් 100 දෙනෙක් වසරකට ගෙන්න ගන්න. ඉතා විශාල රෝහලක් අපිට තිබෙනවා. ඒ හරහා විශාල විදේශ විනිමයක් රටට ලැබෙනවා. බංග්ලාදේශය, මාලදිවයින වගේ රටවල දැන් විශාල මධ්‍යම පන්තියක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඔවුන් ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් වෙමින් ලබන්න තැන් සොයමින් සිටිනවා. අපෙන් විදේශ විනිමය ගිලිහෙනවානම් ඒ සඳහා හොඳ වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍ය අනිවාර්යයෙන්ම ප‍්‍රමිතිය කියන එකයි.

මේ රටේ රූපලාවන්‍යාගාරවල ප‍්‍රමිතිය නැහැ කියලා අල්ලනවා නම් ඊට වඩා වැදගත් නැත්ද වෛද්‍යවරයෙකුගේ ප‍්‍රමිතිය ඊට වඩා වැදගත් නැත්ද වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය.

රෝගීන් සඳහා ලබාදෙන ඖෂධවල ප‍්‍රමිතිය පසුගිය කාලය පුරාම ප‍්‍රශ්න සහගත වුණා. ගුණාත්මක ඖෂධ ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව කෙසේ සකස් විය යුතුද?
මේකට ප‍්‍රධාන හේතුව ඖෂධ ප‍්‍රතිපත්තියක් නැති කම හා නීතිමය තත්ත්වයක් නොමැතිකම. ඖෂධ සැපයීමේ මූලික සිද්ධාන්තයක් තමයි ජීවිතාරක්‍ෂක ඖෂධ නොකඩවා සැපයිය යුතුයි කියන එක. අනෙක් කාරණය තමයි වෛද්‍ය නාමයෙන් ඖෂධ දෙන්න  ඕන. අවසන් කරුණ හොඳ ප‍්‍රමිතියකින් අඩු වියදම් බෙහෙත් දෙන්න  ඕන. අද වෙන කොට ඇමොක්සලින් වර්ග 100 ක් විතර තියෙනවා කිසිම ප‍්‍රමිතියක් නැහැ.

ඖෂධ සැපයීමේදී ටෙන්ඩර් පටිපාටියේ වංචා දූෂණ රාශියක් තිබෙනවා. සමහර නිලධාරීන් උවමනාවෙන්ම ඖෂධ හිඟයක් මවනවා. හදවත් ශල්‍ය අංශයෙන් 2010 දී ඉල්ලපු බෙහෙත් අද වෙනකම් ලැබිලා නැහැ. අපි මේ ඉන්නේ 2011 අවුරුද්දේ අන්තිම කාලේ. ඖෂධ නැති වුණාම අපි කරන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු ප‍්‍රමිතියකින් තිබෙන බෙහෙත් විශාල මිලකට ලබා ගන්නවා. ඒවට වගකිවයුතු නිලධාරීන්ට කිසිදු දඬුවමක් නැහැ. ඒ වගකිවයුතු නිලධාරියාව සමහර අවස්ථාවලදී රටයනවා බෙහෙත් හිඟයි අරන් එන්න කියලා. මහා භාණ්ඩගාරේ ලේකම්තුමා කිව්වා ඖෂධ සඳහා තවත් මුදලක් ලබාදෙන්න පුළුවන් කියලා. නමුත් ඔහුටත් අවශ්‍ය ඒ මුදල් නිසි තැන්වලට යොමුවන එකයි. නිසි ඖෂධ ප‍්‍රතිපත්තියක් යටතේ ඖෂධ ගෙන්වනවා නම් රජයට හැකියාව තිබෙනවා වසරකට බෙහෙත්වලට යොදවන බිලියන 16 ක මුදලින් වසර එකහමාරක අවශ්‍යතරම් ගුණාත්මක ඖෂධ ගෙන්නන්න.

හම්බන්තොටින් හමුවූ පළමු රන්පදක්කම ළහිරු

28 Oct

බොහෝ දෑ අහවරය. කතාබහ පවා මතකයෙන් දුරය. හම්බන්තොට පැවති දකුණු ආසියාතික වෙරළ ක‍්‍රීඩා උළෙලෙහි මතකය පවා එබඳුය. එහෙත් ඒ තුළ මතකය අලූත් කළ සුවිශේෂී අත්දැකීමක් ද තිබුණි. ඒ ජීවිතාරක්ෂක ක‍්‍රීඩකයෝය. හම්බන්තොට වෙරළෙහි ආධිපත්‍යය ඉසිලූවෝ ඔවුහුය. මෙය ලෝකය හමුවේ අලූත් අත්දැකීමක් නොවූවද ලංකාව තුළ නැවුම්ය. ජීවිතාරක්ෂක ක‍්‍රීඩා පණ ලැබුවේ හම්බන්තොට වෙරළ ක‍්‍රීඩා උළෙලින් කීම වුව නිවැරදිය. ප‍්‍රථම වතාවට පැවති දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලෙහි සත්කාරක ශ‍්‍රී ලංකාව පවා දිවි ගලවා ගත්තේ ඔවුන්ගේ කුසලතාවලට පින්සිදුවන්නැ’යි කීම තවත් නිවැරදිය. මෙවර වෙරළ ක‍්‍රීඩා උළෙලෙහි ශ‍්‍රී ලංකාවට ලැබුණු සමස්ත රන් පදක්කම් ගණන නවයකි. ඉන් හයක්ම ජීවිතාරක්ෂක ක‍්‍රීඩාවෙනි. එබැවින් එකී සමස්තය එක මිටකට ගෙන රන් පදක්කම් හයෙහි එක් රන් පදක්කමක් වෙන්කර ගත් මොහොතකි මේ.

ශ‍්‍රී ලංකාවේ පැවති දකුණු ආසියාතික මංගල වෙරළ ක‍්‍රීඩා උළෙලෙහි මංගල රන් පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිකර දුන්නේ ඔහුය. හම්බන්තොට වෙරළ තීරයෙහි ශ‍්‍රී ලංකාව රනින් බැබලූ මුල්ම ජීවිතාරක්ෂකයා ඔහුය. ඔහු නමින් ඩබ්ලිව්.පී. ළහිරු ප‍්‍රනාන්දුය. විසිහත් හැවිරිදි ළහිරු ශ‍්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. (විශේෂ කාර්ය බලකායේ) ළහිරු සමග කළ කෙටි කතාබහකි මේ.

ළහිරු පිහිනුම් ක‍්‍රීඩාවට සම්බන්ධ වුණේ කොහොමද?

මගේ උපන් නගරය පානදුර. මම පානදුර රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. 1999-2000 අවුරුද්දේදී විතර මම පානදුර ජල ක‍්‍රීඩා සංගමයට බැඳුණා. ඒකෙන් තමයි මගේ පිහිනීම පටන් ගත්තේ. පානදුර ජල තටාකය නොවන්නට ළහිරු කෙනෙක් නැහැ. ඒකේ ප‍්‍රධානියා විදිහට විජිත ප‍්‍රනාන්දු මහතා මට මේ ගමන එන්න පිහිනීම පැත්තෙන් වගේම ආර්ථික වශයෙනුත් උදව් උපකාර කළා. ඔහු සහ රන්මල් කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීමෙන් තමයි පොලීසියේ රැුකියාව පවා මට ලැබුණේ. පානදුර පිහිනුම් තටාකය තමයි මගේ මෙතෙක් ආ ගමනේ රහස. මම ඒ අයට අදටත් ගරු කරනවා. පානදුර පිහිනුම් තටාකයට අදටත් ඇලූම් කරනවා.

ජීවිතාරක්ෂක ක‍්‍රීඩා පිළිබඳ කතාබහ අපට අලූත් අත්දැකීමක් වුණා නේද?

ඇත්තටම ජීවිතාරක්ෂක ක‍්‍රීඩා හම්බන්තොට වෙරළ ක‍්‍රීඩා උළෙලින් වඩාත් කතාබහට ලක්වුණා වගේම ජනතාවගේ අවධානයට පාත‍්‍රවුණා. ඒක අපි පිළිගත යුතුයි. නමුත් මේක ක‍්‍රීඩාවක් විදිහට බොහෝ පරණ එකක්. ලංකාවේ ගල්කිස්ස මුහුදු තීරයෙන් ජීවිතාරක්ෂක ක‍්‍රීඩාව ආරම්භ වුණේ 1947දී සුද්දාගේ පාලන කාලයේදී. එතරම් දිගු ඉතිහාසයක් මේ ක‍්‍රීඩාවට තියෙනවා. අදටත් ලංකාවේ නිතර ජීවිතාරක්ෂක තරගාවලි පවත්වනවා. මේ සියල්ල එක රාමුවකට කොටුවෙලා තිබුණා. ඒ තත්ත්වය හම්බන්තොට වෙරළින් නැවුම් වුණා. මම හිතනවා ඒ පිබිදීම මේ ක‍්‍රීඩාවේ ඉදිරිය ශක්තිමත් කරගැනීමට ක‍්‍රීඩකයන් විදිහට අපටත් විශාල පිටුවහලක් වුණා කියලා.

ජීවිතාරක්ෂකයෝ වර්ග දෙකක් ඉන්නවා නේද? ඔබ මොන කොටස නියෝජනය කරන්නෙක්ද?

ඔව්! දෙවර්ගයක් ඉන්නවා. කට්ටියක් ‘ලයිෆ් ගාර්ඞ්ලා’. ඒ කියන්නේ ඔවුන් මෙම කාර්යෙහි නියැලෙන්නේ ඒකම වෘත්තියක් විදිහට තෝරා ගනිමිනුයි. අනෙක් අය ‘ලයිෆ් සේවිං’ ඒ කියන්නේ ගැලවුම්කරුවා, ගලවාගන්නා ආරක්ෂකයා. මේ අය වෙනත් වෘත්තියක් කරන ගමන් මේ පරිත්‍යාගය කරනවා. මම ඉන්නේ දෙවන කාණ්ඩයේ.

ඔබ තමයි හම්බන්තොට වෙරළ ක‍්‍රීඩා උළෙලේදී ලංකාවට ප‍්‍රථම රන් පදක්කම දිනා දුන්නේ. නමුත් මේ ඉසව්ව අපට අලූත් නේද?

ඔව්! ඒක ඇත්ත. මම එදා තරග කළේ ජීවිත ආරක්ෂක බෝඞ් රේස් (LIfe saving board race) තරගය. මේක ලංකාවේ ක‍්‍රීඩාලෝලීන්ට අලූත් ඉසව්වක්. රේක් කික් බෝඞ් එකක් ආධාර කරගෙන මීටර් 600ක් මෙහිදී තරණය කළ යුතුයි. මේ ඉසව්වට ඉන්දියාව නියෝජනය කළ ඬේමුඞ් චෝදිපල්ලි ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉන්න ක‍්‍රීඩකයෙක්. මම ඔහුව පරාජය කරමින් තමයි රන් පදක්කම ලැබුවේ.

ජීවිතාරක්ෂක ක‍්‍රීඩාව මුහුද ආශ‍්‍රිතම ක‍්‍රීඩාවක්ද?

නැහැ. එය ගංගා, වැව් ආශ‍්‍රිතවත් කළ හැකි දෙයක්. මෙරට ඇතැම් ජීවිතාරක්ෂක තරගාවලි පවත්වන්නේ අනුරාධපුර තිසා වැවේ. අනෙක අපි පුහුණු පුරුදු වෙලා ඉන්නේ වතුරේදී පමණක් නොව ගොඩබිම අනතුරකදී පවා උපකාර කළ හැකි අයුරිනුයි. ඒ නිසාම ජීවිතාරක්ෂක ක‍්‍රීඩකයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  ඕනෑම අනතුරකදී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මේක පදක්කමකට එහා ගිය ගරුත්වයක් ඇති වගකීමක් කිව්වොත් නිවැරදියි.

ඔබලා ක‍්‍රීඩකයන් විදිහට අඛණ්ඩ පුහුණුවක් ලබනවද?

ඔව්. අපි විශාල කැපකිරීමක් නිරන්තරයෙන්ම කරනවා. නිතර නිතර පුහුණු වෙනවා.
පිහිනුම් ක‍්‍රීඩාවට වඩා ආකර්ෂණයක් නාට්‍යම ස්වරූපයක් ජීවිතාරක්ෂක ක‍්‍රීඩාව තුළ තියෙනවා නේද?
ඒකට හේතුව පිහිනුම් ක‍්‍රීඩාවේ ඉසව්වක් ගත්තහම එහි අවසානය දක්වා ඒකාකාරී ස්වභාවයක් දක්නට ලැබෙනවා. නමුත් ජීවිතාරක්ෂක ක‍්‍රීඩාවේ මේ තත්ත්වය වෙනස්. ඔබ කියනවා වගේ මේක ඇතැම්විට නාට්‍යමය ජවනිකාවක්.

හම්බන්තොටදී රන් පදක්කම් ගත්තත් මේ ක‍්‍රීඩාවට ඉදිරියක් තියේවි කියල ඔබ විශ්වාස කරනවද?

හම්බන්තොටදී ලබාගත් රන් පදක්කම් සමග ඒ තත්ත්වය උදාවුණා කියලා හිතනවා. අපේ මීළඟ ඉලක්කය 2012 වසරේදී  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ලෝක ජීවිතාරක්ෂක ශූරතාවලියට සහභාගිවීමයි. ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය අපට අත්වැලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ පොරොන්දුව අපට දැනටමත් ලැබිලා තියෙනවා. ඒ හින්දා අපි හිතනවා ක‍්‍රීඩාවක් විදිහට අපගේ ඉදිරිය යහපත් වේවි කියලා. එයින් රටට කීර්තියක් අත්කර දීමට අපට හැකිවෙයි කියලා.

ලෝක මට්ටමින් අපට මේ ක‍්‍රීඩාවේ අභියෝගයක් තියෙන රටවල් මොනවාද?

 ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය වගේ රටවල් ඉන් ප‍්‍රබලයි. තව බොහෝ රටවල් තිබෙනවා. අපිට මේක තවමත් අලූත් අත්දැකීමක්. නමුත් බොහෝ රටවල් මේ ක‍්‍රීඩාවේ පරිණතයි. තරගකාරීයි. අප ජයගත යුතු තත්ත්වය එයයි. අපිට බැරි නැහැ. උපරිමය කළ හැකියි.

ඔබ ජීවිතාරක්ෂක ක‍්‍රීඩකයකු විදිහට තෘප්තිමත්ද? ඉදිරියත් එහිම නියැලෙනවාද?

ඔව්. ඉතාම තෘප්තිමත්. මේ තැනට එන්න සෑහෙන කැපකිරීම් කළා, මහන්සි වුණා. එහිදී මගේ පිටුපස හෙවණැල්ලක් සේ විජිත ප‍්‍රනාන්දු මහතා සිටියා. මම ඔහුට උපරිම ගරු කිරීම කරනවා. ජය පැරදුම කුමක් වුවත් මේක සුවිශේෂ ක‍්‍රීඩාවක්. ඒ තමයි අවසානයේ කෙනෙක් ජීවිතයෙන් පරදින්න යන මොහොතක් ජයට හරවනවා. පදක්කම් සියල්ලට වඩා ජීවිතයක් බේරා ගැනීම වටිනවා. ඒ නිසාම මේක මම හදවතින්ම කරන ක‍්‍රීඩාවක්. ක‍්‍රීඩා කළ නොහැකි වුණත් මට හැකිතාක් මම ජීවිතාරක්ෂකයෙක් විදිහට කටයුතු කරනවා. ලබන අවුරුද්දේ  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ලෝක ජීවිතාරක්ෂක ශූරතාවලියේ පෙරළියක් කිරීමටත් උපරිම කැපකිරීම් කරනවා.

පසු සටහන

ළහිරු ප‍්‍රනාන්දුට අමතරව දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේදී ජීවිතාරක්ෂක ඉසව්හිදී රන් පදක්කම් ලැබූ සියලූ ක‍්‍රීඩකයන්ට අපගේ ගෞරවය හිමිය. දිවීම-පිහිනීම-දිවීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා දුන් සහන් රූපසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ අකිල වටරැුක ලබාගත් රන් පදක්කම්ද සුවිශේෂීය. ඒ අතර තවත් රන් දායකත්වය සැපයූ කැලූම් ලක්මාල් කරුණාරත්න සහාය දිවීමේ තරගය ජයගත් සෙසු ක‍්‍රීඩකයන්ද හම්බන්තොට වෙරළ ක‍්‍රීඩා උළෙල වර්ණවත් කළ බව සිහි කැඳවිය යුතුමය. රන් නොවුණද ඒ අතර එම ඉසව්වලින් රිදී ගත්තවුන්ද අගය කළ යුතුය. මොවුන් සියල්ල හම්බන්තොට ක‍්‍රීඩා උළෙලෙහි ශ‍්‍රී ලංකාවේම ජීවිතාරක්ෂකයෝ වූහ.

28 Oct

කොළඹ බලය ගන්න ආණ්ඩුවෙන් සැලසුමක්

23 Oct

මහ නගර සභා ආඥා පනත වෙනස් කර කොළඹ මහ නගර සභාවේ බලය ආණ්ඩුවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් තමන් සතුව පවතින බව කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වී සිටින නාගරික මන්ත‍්‍රී අසාත් සාලි මහතා පවසයි.

කොළඹ නගරය හා ඒ අවට පළාත් පාලන ආයතන සම්බන්ධ වන සේ පිහිටුවීමට නියමිත කොළඹ අග නාගරික අධිකාරිය පිළිබඳව රාවයට අදහස් දක්වමින් අසාත් සාලි මහතා මේ බව පැවසීය.

එම අදහස් දැක්වීමේදී අසාත් සාලි මහතා ප‍්‍රකාශ කරන්නේ කොළඹ මහ නගර සභාවේ එජාපය ආසන 24ක් ලබාගෙන ඇති නමුත් විපක්ෂයට ආසන 29ක් තිබෙන බවත්, ඒ නිසාම විපක්ෂයේ බලය වැඩි බවත් ඒ නිසාම මන්ත‍්‍රීවරුන් එක්වී බලය පිහිටුවීමේ වැඩපිළිවෙළක් තමන් සතු බවත්ය. එසේම මනෝ ගනේෂන් මහතා හා මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවට සහාය දක්වතියි යන්න බලාපොරොත්තු වන බවත්ය.

දැනට පවතින පළාත් පාලන ආයතන පනත අනුව යම් පළාත් පාලන ආයතනයක වැඩිම ආසන ගණනක් දිනාගන්නා පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට එහි නගරාධිපති, උප නගරාධිපති හා සභාපති, උප සභාපති තනතුරු පත්කිරීමේ බලය ලැබෙන අතර ඒ සඳහා පළාත් පාලන ආයතනයක බහුතර බලය ලබාගැනීම අවශ්‍ය නොවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට දුරකතනයෙන් කතා කොට කොළඹ මහ නගර සභාවට තනිවම තරග කර ආසන හයක් දිනාගැනීම ගැන සුබ පැතූ බව රාවය කළ විමසීමකදී මනෝ ගනේෂන් මහතා පිළිගත්තේය.

මීට පෙර ප‍්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් කොළඹ මහ නගර සභාව ස්ථාපනය වන්නේ නොවැම්බර් මස 01 වැනිදා සිටයැයි ප‍්‍රකාශ කරමින් එජාපයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාට කොළඹ නගර සභාවේ කටයුතු කිරීම මෙතෙක් වළක්වා ඇති අතර එසේ තිබියදී ඔක්තෝබර් 19 වැනිදා අංක 1728/15 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරමින් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ කොළඹ සහ හම්බන්තොට යන මහ නගර සභාවල සභිකයන්ගේ ධුර කාලය ආරම්භවන්නේ නොවැම්බර් මස 01 වැනිදා සිට බවයි.

මෙම කල් දැමීම පිළිබඳව රාවය පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ කොළඹ සහ හම්බන්තොට මහ නගර සභාවල තියෙන්නේ විශේෂ තත්ත්වයක් බවය. කොළඹ මහ නගර සභාව පාලනය වූයේ විශේෂ කොමසාරිස්වරයකු යටතේ බැවින් මැතිවරණය පැවැත්වීම ගැසට් කරන විට එය සංස්ථාපනය කිරීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ නොවැම්බර් මස 01 වැනි දින කොළඹ මහ නගර සභාව සංස්ථාපනය වන අන්දමට බවය.

හම්බන්තොට තිබුණේ නගර සභාවක් බවත් එය මහ නගර සභාවක් ලෙසට ගැසට් කරන විටම එය සංස්ථාපනය වන දිනය ලෙස නොවැම්බර් 1දා සඳහන්ව ඇති බැවින් මෙම නගර සභා දෙකේ සභිකයන්ගේ ධුර කාලය ආරම්භ වන්නේ නොවැම්බර් මස 01 වැනි දින ලෙස මහ නගර සභා ආඥා පනතේ ඇමතිවරයාට ඇති බලතල මත මෙම මහ නගර සභා ක‍්‍රියාත්මක වන දිනය එදින දක්වා කල් දමා ඇති බවය.