බජාර් එකේ චන්ඩි වගේ රටක් පාලනය කරන්න බෑ

13 Jan

දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මාන මහාචාර්ය රංජිත් අමරසිංහ

අගවිනිසුරුවරියට එරෙහි ආණ්ඩුවේ දෝෂාභියෝග වැඩ පිළිවෙළේ වර්තමාන තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කරන්න ලැහැස්ති වුණු දේ නීත්‍යනුකූල නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට තීන්දුවක් දීලා ඉවරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්වචනය කිරීමට එකම හා අනන්‍ය බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒත් කතානායක නියෝජ්‍ය කතානායක ඇතුළු ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් කියන්නේ තමන්ට විරුද්ධව තීන්දු දෙන්න පිටස්තර ආයතනයකට බෑ, ඒ නිසා තමන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නෑ කියලා. එහෙම කියන ගමන් ඔවුන් කියනවා තමන් මේ පිළිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වාදයක් කරනවා කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වගේ තීන්දුවක් දීලා තියෙද්දි වාද කරන එක කාලය, මුදල් විතරක් නෙමෙයි ශ‍්‍රමයත් නාස්ති කිරීමක් විතරයි.

විපක්ෂය ඇතුව හරි නැතුව හරි එවන් දෙයක් කරන්න ආණ්ඩුව පෙළඹෙන්න පුළුවන්. ඒත් ඒ වගේ ඒකපාර්ශ්වීය තීන්දුවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාට පස්සේ අගවිනිසුරුවරිය අයින් කරන්න ජනාධිපතිවරයා තීන්දුවක් දුන්නායැයි හිතමු. ඒකෙන් වෙන්නෙ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත්, රට අගාධයට යෑමත් විතරයි.

ඒ විතරක් නෙමෙයි, ඒ වගේ දෙයක් කරද්දී ආණ්ඩුව විධායක බලතලවලට අමතරව පොලීසිය, හමුදාව, පරිපාලනය වගේ තමන් යටතේ ඇති සියලූ ආයතන ඒ සඳහා පාවිච්චි කරන එක ඉතා පැහැදිලියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්වචනය කිරීමේ වගකීම හිමි අධිකරණයට ද ඒ කාර්යය සඳහා මේ ආයතනවල සහාය අවශ්‍යයයි. ඒත් මේ සියලූ ආයතන ජනාධිපතිවරයා යටතේ තබාගැනීම නිසා මේ ගැටලූව තවදුරටත් උද්ගත වෙනවා. ආණ්ඩුවේ මේ ක‍්‍රියාවලිය නීතිවිරෝධී වගේම ව්‍යවස්ථා විරෝධී එකක්. ඒක රටේ සමස්ත නීතියම අර්බුදයට යවන ක‍්‍රියාවක්.

එසේ වුවත් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් නිතරම කියන්නේ තමන් ජනතා පරමාධිපත්‍යය දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතු බව සහ මේ කරමින් සිටින්නේද එය බව?

ඒ විතරක් නෙමෙයි නීතියේ ආධිපත්‍ය ගැනත් ඒ අය කොයි වෙලෙත් කතා කරනවා. එහෙම කියලා අන්තිමට කරන්නේ නීතිය සම්පූර්ණයෙන් එළියට විසි කරලා දාන එක. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම බිඳවැටෙන්නේ මේ රට ශිෂ්ටසම්පන්න සමාජයක් විදිහට කටයුතු කරන්නට තියෙන මූලික රාමුව.

රටේ නීතිය ආණ්ඩුව විසින්ම ප‍්‍රතික්ෂේප කරනවා නම්, අපි දවසින් දවස ගමන් කරන්නේ කොහෙටද කියලා කල්පනා කරන්න ඕනෙ. ඒ ශිෂ්ටසම්පන්න හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයෙන් ඈතට. කොටින්ම කියනවා නම් රාජ්‍ය නම් මම්ම වෙමි කියූ ලූවී රජ්ජුරුවන්ගේ කාලෙට.

ශතවර්ෂ ගාණක් තිස්සේ ශිෂ්ට ලෝකය විසින් පෝෂණය කරමින් ආපු රාජ්‍ය කිරීමේ සම්ප‍්‍රදායක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ඒකට. ඒත් මේ විදිහට ඒක බිඳ දාලා ආයෙත් පැරණි වැඩවසම් ලෝකයටම යන්න අපිට බෑ.

දෝෂාභියෝගය ගැන කතා කරන බොහෝ දෙනෙක් මේ ප‍්‍රශ්නය දකින්නේ ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇති ගැටුමක් විදිහට. විධායකය විසින් පෙන්නමින් සිටින්නෙත් මේක තමන්ගෙන් පිට තියෙන දෙයක් හැටියට?

මේ අය පෙන්නන්නෙ එහෙම තමයි. ඒත් ඇත්ත ඒක නෙමෙයි. මේක විධායකය විසින් අධිකරණය නතු කරගන්න ගන්න උත්සාහයේම එක් ජවනිකාවක්.

පාර්ලිමේන්තුව සහ අධිකරණය ගැන සමබර තත්ත්වයෙන් කතා කරන්න පුළුවන් වන්නේ පැරණි පාර්ලිමේන්තු ක‍්‍රමය යටතේ විතරයි. ජනාධිපති විධායක ක‍්‍රමය යටතේ ඒක පැහැදිලි වශයෙන්ම වෙනස්.

පාර්ලිමේන්තුවේ කාලය අවුරුද්දක් වුණාට පස්සේ ජනාධිපතිට පුළුවන් ඔය කියන පාර්ලිමේන්තුව ඕනෙම වෙලාවක තනි මතේට විසුරුවා හරින්න. ඔය කියන පරමාධිපත්‍ය තියෙන මන්ත‍්‍රීවරු ඔක්කොම ගෙදර යවන්න. ලංකාවේ ක‍්‍රමය අනුව කොටින්ම කියනවා නම් ව්‍යවස්ථාදායකය කියන්නේ විධායකයේ හස්තයක් විතරයි. එහෙම තියෙද්දිත් මේ අය ව්‍යවස්ථාදායකයේ පරමාධිපත්‍යය බලයක් ගැන කථා කරන එක විශාල උත්ප‍්‍රාසයක්.

පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරනවා තමයි. ඒත් පාර්ලිමේන්තුව සම්පාදනය කරන්නේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත වුණු නීති. ඉතින් කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා කවුද. කැබිනට් එකේ ප‍්‍රධානියත් ජනාධිපති. එහෙම තියෙද්දි ජනාධිපතිට හොරෙන් කිසිම නීතියක් සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට බෑ.

ඔබ කිව්වා වගෙම මේ දේවල් නිකම්ම නිකම් හුදකලා දේවල් විදිහට දකින්න බෑ. මේ රටේ බොහෝ නායකයින් වගෙම වර්තමාන ජනාධිපතිවරයාත් බලයට පත්වුණේ තමන් බලයට පත්වූ විගස විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා පොරොන්දු දීලා. බලයට ආවට පස්සෙ ඔහු කළේ විවිධ ආකාරයේ වැඩපිළිවෙළවල්වලින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට ගනිමින් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් හදාගන්න එක. අන්තිමේදි කළේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලොකුම පිම්ම පනිමින් දහ අටවන සංශෝධනය අනුමත කරගන්න එක. ඒත් එක්ක ඔහු තවදුරටත් ජනාධිපතිවීමට අවස්ථාව උදා කරගත්තා විතරක් නෙමෙයි දහහත්වන ව්‍යවස්ථා සංශෝධනය වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් අහෝසි කරලා දැම්මා.

දහ අටවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරද්දි ජනාධිපතිවරයා රටේ සියලූම ක්ෂේත‍්‍රවල බලය තහවුරු කරගෙන ඉවරයි. විශ්වවිද්‍යාල වේවා, සංස්ථා වේවා, විදේශ සේවා වේවා, කලා කටයුතු වේවා මේ සියල්ල විවිධාකාර ක‍්‍රමවලින් තමන් අතට ගන්න ජනාධිපතිවරයා සමත් වුණා. වෙන එකක් නෙමෙයි ක‍්‍රිකට් සංගමයේ, වොලිබෝල් සංගමයේ පවා බලය තමන් යටතට ගන්න ඔහු අමතක කළේ නෑ. ඒ අනුව ඔහුට ගන්න තිබුනේ අධිකරණයේ බලය විතරයි. නීතියට පටහැනිව හරි, මේ දෝෂාභියෝගය කරගෙන ගියොත් තමන්ගේ මේ අවශ්‍යතාවත් ඉටු කරගන්න පුළුවන් කියලා ඔහු කල්පනා කරනවා ඇති.

ඒ කියන්නේ අධිකරණය ඒ තරමටම පරමාදර්ශී ආයතනයක් විදිහට හැම වෙලේම ස්වාධීනව කටයුතු කළා කියන එකද?

නෑ. එහෙම නම් දහඅටවන ව්‍යවස්ථා සංශෝධනය වගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව්‍යවස්ථාවක් මේ රටේ ස්ථාපිත වෙන්න බෑනෙ. ආණ්ඩුව දහඅටවන ව්‍යවස්ථා සංශෝධනය ගේද්දි ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ බවත්, ජනාධිපති ධුරය සම්බන්ධ වාරයන් ඉවත්කිරීම කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සිදු නොවන බවත්, විශේෂයෙන් දහහත්වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කිරීම රට සම්බන්ධයෙන් ඉතා අහිතකර ආකාරයට බලපානු ඇති බවත් පෙන්වා දෙමින් ඒ ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රතික්ෂේප කළ යුතුයි කියා මාත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒත් අගවිනිසුරුවරිය කිවුවේ ජනාධිපතිවරයා කී පාරක් බලයට පත් වුණත් ඒ බලයට පත් වෙන්නේ ඡන්දයෙන් නිසා කිසිම ප‍්‍රශ්නයක් නෑ කියලා.

මේ අගවිනිසුරුවරියම ඒ වගේ දේවල් සම්බන්ධයෙන් එදා ආණ්ඩුවට වාසිදායක තීන්දු දෙද්දී ඔවුන්ට ඇගේ විසම පැවැත්මක් පෙනුණෙ නෑනෙ. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අගවිනිසුරුවරිය සමග තිබුණු මේ හිතෛෂීභාවය යම් යම් හේතූන් නිසා පළුදු වී යද්දී තමයි ආණ්ඩුවට මේ හැම දෙයක්ම මතක් වුණේ.

අධිකරණ සේවා කොමිසම සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලූවත්, පුත්තලමේ ඇතිවුණු සිද්ධියත් මේ සිත් රිදීමට මූලික හේතු බව පේනවා. ඒ වුණත් මේක කූටප‍්‍රාප්තියට එන්නේ දිවි නැගුම පනතත් එක්ක. ආණ්ඩුවේම එක මන්ත‍්‍රීවරයෙක් පැහැදිලිවම කියලා තිබුණනේ මේ දෝෂාභියෝගය ගෙනාවෙ වෙන මොකුත් නිසා නෙමෙයි දිවි නැගුම හින්දා කියලා.

බාහිරට කුමක් පෙන්නුවත් දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව හැමවිටම රැගෙන ගියේ පසමිතුරු සම්බන්ධයක්. පළාත් සභා ගෙඩිපිටින් ඉවත් කරන එක ප‍්‍රායෝගික නොවන බව දැනුණු තැන ඔවුන් කළේ පළාත් සභා සතු විවිධ අයිතිවාසිකම් සහ බලතල ටිකෙන් ටික ගන්න එක. දිවිනැගුම පනත මගින් පේන්නෙත් බලය තමන්ගෙන් පිටතට බෙදීයෑම නොරිස්සන කිහිප දෙනෙක් සතු මේ කියූ උපක‍්‍රමික වෑයම ම කියලා හිතන්න බැරිද?

මේ අය විශ්වවිද්‍යාලයේ ඉඳලා වොලිබෝල් සංගමයට වෙනකම් හැම දෙයක්ම තමන් යටතට ගත්තා කියලා මං කළිනුත් කිව්වනෙ. දිවිනැගුම පනත කෙටුම්පත් කරලා තිබුණේත් පළාත් සභාවට අයත් විශාල බලතල ප‍්‍රමාණයක් අලූතින් පිහිටුවන දිවිනැගුම දෙපාර්තමේන්තුවට ගැනෙන විදිහට. අධිකරණය විසින් ඒ පනත නීතිවිරෝධී බව තීරණය කරන්නෙත් මේ නිසා. මොකද පළාත් සභා පිහිටුවලා තියෙන්නේ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ. දහතුන කියන්නෙත් වර්තමාන ව්‍යවස්ථාවෙම කොටසක්. ඉතින් වර්තමාන ව්‍යවස්ථාව අභියෝගයට ලක්වන දිවි නැගුම වගේ පනතක් හිතුමතේට සම්මත කිරීම ව්‍යවස්ථා විරෝධී වැඩක්. ඒ වගේ එකක් සම්මත කරනවා නම් ඒ සඳහා බලය අහිමි වන පළාත් සභාවල අනුමැතිය ගන් ඕනෙ. පළාත් සභාවල අනුමැතියකින් තොරව ඒ දේ නීත්‍යනුකූලව කරන්න බෑ.

ආණ්ඩුව මීට කලිනුත් විවිධ අවස්ථාවලදී පළාත් සභාවල බලය උදුරා ගත්තා. ඒත් ඒ නීති මගින් නෙමෙයි. ඒ පරිපාලන නියෝගවලින් හා දේශපාලන බලපෑම්වලින්. ආණ්ඩුව දිවිනැගුම මගින් කරන්න යන්නෙ ඒ පවරා ගැනීම්වලට නීත්‍යනුකූල භාවයක් දෙන්න විතරක් නෙමෙයි තවදුරටත් පවරා ගන්න.

අධිකරණය කිසි විටෙකත් කියුවේ නෑ දිවිනැගුම පනත සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියලා. අධිකරණය පෙන්වා දුන්නේ ඒක ඉදිරිපත් කරනවා නම් සංශෝධනයට භාජනය කළ යුතුයි කියලා. ඒත් ලංකාවේ රාජ්‍යය කරන ඔලිගාව හෙවත් කිහිප දෙනෙක් වූ පාලක පිරිස තීරණය කළේ කෙසේ හෝ ඇය ධුරයෙන් ඉවත් කළ යුතුයි කියලා. ඔවුන් කල්පනා කළේ චෝදනා එල්ල කළ විගස අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත්වේවි කියලා. එසේ නමුත් ඇය ඔවුන් හිතූ පරිදි ඉල්ලා අස් වුණේ නෑ.

දෝෂාභියෝගය තුළ ඉදිරිපත් කළ චෝදනා බහුතරයක් අගවිනිසුරුවරිය ඒ තනතුරට එන්න කලින් කළායැ යි කියන දේවල් ගැන ගොඩනැගූ ඒවා. ඇය පිළිබඳ ඔප්පු වුණායැයි කියන ඇගේ ස්වාමිපුරුෂයාගේ නඩුව පිළිබඳ කාරණේ වුණත් මතුවෙන්නේ චෝදනා පත‍්‍රය සකස් කරන කාලෙදි. අපිට පෙනුණු දේ තමයි දෝෂාභියෝගය ගොනු කරන්න ඕන නිසාම ආණ්ඩුව ඒ කරුණ මතු කළා කියන එක.

අනික් අතට, චෝදනා විභාග කළ පාර්ලිමේන්තු කාරක සභාවට ඕනෑ කළේ නිවැරදිව චෝදනා විභාග කර අගවිනිසුරුවරිය වැරදිද නිවැරදිද කියලා විමසන්න නෙමෙයි. ඔවුන්ට ඕනෙ වුණේ ස්ථාවර නියෝග ක‍්‍රියාදාමය තුළින් ගිහින් පුළුවන් තරම් ඉක්මනට මේක ඉවරයක් කරලා දාන්න. අද ගොඩක් අය කියනවා මේ අය දොෂාභියෝගය ගෙනා පිළිවෙළ වැරදියි කියලා. ඒක ඇත්ත, මොකද මේ කාරක සභාවට කිසිම ඕනෑකමක් තිබුණෙ නෑ පිළිවෙළක් රකින්න. අවශ්‍ය වුණේ ස්ථාවර නියෝග මත ඉඳගෙන හැකි ඉක්මනට ජනාධිපතිවරයාට වාර්තාවක් බාරදෙන්න විතරයි.

වර්තමාන අගවිනිසුරු වරිය මේ වගේ ක‍්‍රමයකින් එළියට ඇදලා දැම්මොත් වෘත්තීය හා ආත්ම ගෞරවයක් තියෙන කිසිම කෙනෙක් අනාගතේදී ඒ තනතුර සඳහා ඉදිරිපත් නොවේවි. මේ දේවල ප‍්‍රතිඵල දැනටම පේන්න තියෙනවා. අපි දැන් ඇවිත් තියෙන්නේ ඉතා දරුණු අන්තයකට. මේ වනතුරු ලංකාවේ තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ නොයෙක් අඩුපාඩුකම් තිබුණා තමයි. ඒ මොනවා වුණත් ඒ තුළ කිසියම් ශක්තිමත් ආකෘතියක් තිබුණා. ස්වාධීන අධිකරණය කියන එක තමයි ඒ අතර වැදගත්ම වුණේ.

මේ කරුණුවලින් පේන්නේ වෙන මොකුත් නෙමෙයි ලංකාවේ රාජතන්ත‍්‍රඥභාවයේ හිඟකම. අපිට මෙහෙම කළා නම් අපි මේ විදිහේ වැඩක් දෙමු කියලා බජාර් එකේ චන්ඩි වගේ රටක් පාලනය කරන්න බෑ. මේ රටක අනාගතය. ශිෂ්ටාචාරයක ලකුණක්.

සංවාද සටහන සහ ඡායා: ප‍්‍රසාද් එන්. වික‍්‍රමසිංහ 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: