පරාජයේ කොටස්කරුවෝ කවුද?

13 Jan

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති ටෙස්ට්තරගාවලිය 3-0ක් ලෙස අන්ත පරාජයක් ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ දැන් එක්දින සහ විස්සයි/20 තරගවලට සූදානම් වෙති. ඒ සඳහා ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් ම කණ්ඩායමට එකතුවීමට ඔස්ටේ‍්‍රලියාවට ගියේ නොබෝදා ය.

ලත් පරාජයේ කොටස්කරුවන් කවුරුන්දැයි තෝරාගැනීමට නොහැකිව දැන් ක‍්‍රිකට් පාලකයෝ එකි- නෙකාට දොස් තබා ගනිති. තම තමන් සුදනන් වීමට උත්සාහ දරති. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව දෙසට සිග්නල් වැටීම ය.
ආරංචිය අනුව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, නව තේරීම් කමිටුවක් සඳහා සාමාජිකයන් නම් කරන ලෙස ක‍්‍රිකට් පාලකයන්ට දන්වා තිබේ. තව කෙටි කාලයකට පමණක් ආයුෂ ඇති තේරීම් කමිටුව කොහොමටත් මේ සංචාරයෙන් අනතුරුව විසුරුවීමට නියමිත ව තිබුණි. කෙසේ වෙතත් එතෙක් තේරීම් කමිටුවේ කටයුතු සොයා බැලීමට පිටස්තර නිරීක්ෂකයෙක් යෙදවීමට අමාත්‍ය මහින්දානන්දගේ අදහස වී තිබේ.
තේරීම් කමිටුවට රතු එළි දැල්වීම කළයුතුව තිබුණේ දැන් නොව මීට පෙර ය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමන පාලකයෝ එදත් අදත් අපට සිටිති. එහි කිසිදු වෙනසක් නැත. දැන් වුව ද මේ කරන්නට යන්නේ එහි ම දිගුවකි. එසේ වන්නේ නව තේරීම් කමිටුව සඳහා දැනට යෝජිත නම් අතරට මේ වනවිට සිටින සාමාජිකයන් ද එක්ව සිටීම ය.
අපේ රටේ ක‍්‍රිකට් කණ්ඩායමේ සේ ම තේරීම් කමිටුවේ ද සිටින්නේ වසර ගණනාවක් සිටින තැනැත්තෝ වෙති. ඔවුන් තම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට දක්වන දක්ෂතාව අතිමහත් ය. ඒ දක්ෂතාව ක‍්‍රීඩාවේදී හෝ පරිපාලනයේදී දැක්වීමට මේ කිසිවෙක් අපොහොසත් ය. මහින්දානන්ද ප‍්‍රථමයෙන් ම කළයුත්තේ එය තේරුම් ගැනීම ය.
තේරීම් කමිටු ප‍්‍රධානී අසන්තා ද මෙල් මෙන් ම දොන් අරුණසිරි ද දැන් කාලයක සිට තේරීම් කමිටුවේ වැජඹෙති. ඔවුන් දෙදෙනා තේරීම් මගින් කළ මහා ලොකු වෙනසක් අප පසුගිය කාලයේ ම නොදුටුවෙමු. ක‍්‍රීඩකයන් එක් අයෙක් දෙදෙනෙක් ආවෝ ගියෝ චරිත වූවා පමණි. ඔවුන්ට කණ්ඩායමේ හිමි ස්ථානයක් සඳහා ස්ථාවර සාමාජිකයන් ඉවත් කිරීමේ උවමනාවක් නොවුණි.
ප‍්‍රවීණ ක‍්‍රීඩකයෝ ද එසේ ම ය. ඔවුන් ද සෑම විටක ම උත්සාහ දරන්නේ කණ්ඩායමේ රැඳී සිටීමට ය. ඒ සඳහා ඔවුන්ට මේ තේරීම් නිලධාරීන්ගෙන් මෙන් ම අනෙක් ප‍්‍රවීණයන්ගෙන් ද ලැබෙන සහයෝගය අපමණ ය.
මේ සියල්ලෙන් මිදීමට දැන් කාලය එළැඹ ඇතැයි අපි සිතමු. මේ ගෙවී යන ක‍්‍රිකට් කෝඩයට ඉතා ඉක්මනින් පිළියම් නොයෙදුවහොත් ශ‍්‍රී ලංකාවේ ඉතිරි වන්නේ ක‍්‍රිකට් අතීතයක් පමණි. වර්තමානයක් සේ ම අනාගතයක් ගැන සිතීමත් හිතලූවක් වනු ඇත.
අපි මේ වන විටත් ක‍්‍රිකට් සම්බන්ධයෙන් දන්නා සත්‍යයක් තිබේ. ඒ අපට ප‍්‍රවීණයන්ට අභියෝග කළ හැකි දෙවන පෙළක් නොමැතිකමය. එකෙකු දෙන්නෙකු තැන් තැන්වල සිටිය ද මේ ටිකදෙනා එක් තැනකට ගෙනෙන්නට වැඩපිළිවෙළක් අපේ පාලකයන්ට නැත. අඩුම තරමින් මේ ගෙවී ගිය කාලයේ දී ශ‍්‍රී ලංකා ‘ඒ කණ්ඩායමට’ පණදීමටවත් මේ පාලකයන්ට උවමනාවක් තිබුණේ නැත. පාලකයන් වුව ද පසුගිය කාලයේ කළේ ඒ කණ්ඩායම කියා පැරණි ක‍්‍රීඩකයන් ම දමාගෙන ඔවුන්ගේ ම දක්ෂතා සැලකිල්ලට ගැනීම ය. එබැවින් ය මුබාරක්ලා-කණ්ඩම්බිලා තවමත් මේ සංචිතවල සිටින්නේ.
මේ තත්ත්වයන් වෙනස් කරමින් නායයන ක‍්‍රිකට් කණ්ඩායම ගොඩගැනීමට නම් මේ වසරේ ක‍්‍රිකට් කැලැන්ඩරය අපිට ඉතා හොඳ අවස්ථාවක් දී තිබේ. ඒ බංග්ලාදේශ සහ සිම්බාබ්වේ සංචාර දෙකක් ලබා දෙමිනි. මේ සංචාර දෙකේ දී අපේ කණ්ඩායම් සමන්විත වියයුත්තේ අංකුර ක‍්‍රීඩකයන්ගෙන්ය යන්න අපගේ මතයයි. එවිට තවත් වසරක් දෙකක් පමණ වන විට නික්ම යන ප‍්‍රවීණයන් වෙනුවෙන් ආදේශකයන් ලෙස යොදා ගතහැකි ක‍්‍රීඩකයන් කවුරුන්දැයි හඳුනාගත හැකි ය.
මේ වනවිට අපේ ප‍්‍රවීණයෝ කිසිවෙක් තමන්ගේ නික්ම යෑම ගැන ඉඟියක් හෝ ලබාදී නොමැත. ඔස්ටේ‍්‍රලියා සංචාරය ආරම්භයේ දී ඩිල්ශාන් සහ තිලාන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවලට යම් යම් දේ පවසා තිබුණ ද මේ වන විට ඔවුන් දෙදෙනා ද නිහඬ ය. එහෙත් අපේ මතය වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලිය වන විට කණ්ඩායමේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතු බවයි. මහේල-සංගක්කාර-ඩිල්ෂාන්-තිලාන් යන ප‍්‍රවීණයෝ ඒ වනවිට අභියෝගයට ලක්වන ක‍්‍රීඩකයෝ ය. ඔවුන් වෙනුවෙන් අප ආදේශකයන් තෝරාගෙන තිබිය යුතු ය. මේ නිසා ඒ වනතුරුම ක‍්‍රිකට් පිටියේ රැඳී සිටිනවා ද නැද්ද යන්න තීරණය ඔවුන් සතු නොකර තේරීම් කමිටු සාමාජිකයන් සතුකර ගත යුතු ය.
ඒ සඳහා පිට කොන්දක් සහිත තේරීම් කමිටුවක් අවශ්‍ය ය. මහින්දානන්ද මේ කරන්නට යන්නේ එය නම් අපි ඊට කෘතඥ වෙමු. ඒ කුමන තීරණයක් ආවත් එය මහින්දානන්දගේ ගිණුමට බැර වී පැමිණෙන බැවිනි. විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔහුට ඉන් ගැලවිය නොහැකි ය. ඒ සියලූ තීරණ තීන්දුවල අවසන් තීරකයා මහින්දානන්ද ම වන බැවිනි. එසේ කිරීමට මහින්දානන්දට මෙන්ම නවක තේරීම් කමිටුවට කොන්දක් තිබේද යන ප‍්‍රශ්නය ද පැන නගී. එසේ පැන නගින ප‍්‍රශ්නයට ද පිළිතුරු සෙවිය යුත්තේ කාලයට ඉඩ දෙමිනි. අපි එතෙක් බලා සිටිමු.

සත්‍යජිත් වතුගෙදර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: