නීතියක් නැති රටකට!

13 Jan

අධිකරණයට අදාළ අර්බුදය තීරණාත්මක තැනකට ගමන් කරමින් තිබෙන මෙම අවස්ථාවේදී පොදු යහපත ගැන උනන්දුවක් දක්වන නිදහස් පුවත්පතක් වශයෙන් සාම්ප‍්‍රදායික මුල් පුවත් වාර්තාකරණයෙන් බැහැර වී අධිකරණ දෙකක් විසින් ලබාදී තිබෙන තීරණයන් නොසලකා දෝෂාභියෝග ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑමෙන් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක ජනාධිපතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත්, දේශපාලන පක්ෂවලත්, මහජනයාගේත්, පාඨකයන්ගේත් දැනගැනීම සඳහා මෙසේ පිඬු කොට වාර්තා කරමු.

1. මේ නිසා ඇතිවිය හැකි බලපෑම 1982 ජනමත විචාරණයෙන් හා 1983 කළු ජූලියෙන් ඇතිවූ බලපෑම තරම්ම හෝ සමහරවිට ඊටත් වඩා විනාශකාරී විය හැකිය.

2. විසම පැවැත්මක් ඇතිවිට උසස් අධිකරණයේ විනිසුරුවරයකු හෝ අගවිනිසුරුවරයකු දෝෂාභි යෝගයක් මගින් පහකිරීමේ අයිතිය හා බලය පාර්ලි මේන්තුවට තිබෙන්නේය.

3. එහෙත් පාර්ලිමේන්තුව ඒ බලය පාවිච්චි කළයුත්තේ නීතියට අනුකූලව නොවේ නම් ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුකූලවය.

4. ඉතාමත් පහළ තත්ත්වයක තනතුරක් දරන පුද්ගලයකු පවා එම තනතුරෙන් පහකිරීම සඳහා යොදාගත යුතු විධිමත් ක‍්‍රමයක් පවතී. අභ්‍යන්තර විනය පරීක්ෂණයකින් පසු ලබාදෙන ලද තීරණයන් සාධාරණ නොවේ නම් එම තීරණයන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ අයිතිය ඔහුට තිබෙන්නේය. උසස් අධිකරණයේ විනිසුරු වරයකු හෝ අගවිනිසුරු වරයකු තනතුරෙන් පහකිරීමේ ක‍්‍රියාවලිය තුළ ඒ තරමේ සාධාරණත්වයක්වත් නැතිනම් එය ශීලාචාර තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

5. පිලිපීන අගවිනිසුරුවරයා පහ කෙරුණේද මේ සමාන ක‍්‍රියාදාමයක් මගින් බව විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇතත්, පිලිපීනයේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමයට සමාන නැත. පිලිපීනයේ ක‍්‍රියාත්මකවන්නේ ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන ක‍්‍රමයට සමාන ක‍්‍රමයකි. දෝෂාභියෝගයකට පළමු කොට පාර්ලිමේන්තුවේ තුනෙන් එකක අනුමැතිය ලැබිය යුතුය. ඉන්පසු චෝදනා පත‍්‍රය සකස් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ අධිකරණ කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි. ඉන්පසු චෝදනා විභාග කරන්නේ පාර්ලිමේන්තුව විසින් නොව සෙනට් මණ්ඩලය විසින් ඒ සඳහා ඇතිකර ගන්නා විශේෂ විනිශ්චය සභාවක් මගිනි. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවෙ අභ්‍යන් තරයෙන් හෝ පිටතින් තෝරාගත් නියෝජිත පිරිසක් පැමිණිල්ල මෙහෙයවන්නන් ලෙස ක‍්‍රියාකරන විට විනිශ්චයකරුවන් ලෙස ක‍්‍රියාකරන්නේ සෙනට් මණ්ඩලය විසින් ඇතිකර ගන්නා ලද විනිශ්චය සභාවයි. සෙනට් මණ්ඩලයේ විනිශ්චය සභාව චෝදනා සනාථ කළහොත් එම තීන්දුව සෙනට් මණ්ඩලයේ තුනෙන් දෙකක ඡුන්දයෙන්ද අනුමත විය යුතුය.

6. ශ‍්‍රී ලංකාවෙන් පූර්වාදර්ශ නැති කල ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව එංගලන්ත පාර්ලි මේන්තුවෙන් පූර්වාදර්ශ ලබාගත යුතුයැයි කියන මතයද වැරදිය. එංගලන්තයේ පවතින්නේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකි. එහි රාජ්‍ය බලය කේන්ද්‍රගත වී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළය. විශ්වාසභංග යෝජනාවකින් රාජ්‍ය බලය දරන ආණ්ඩුවක් පරාජය කළ හැකිය. අපේ රටේ පවතින්නේ ඊට වෙනස් රාජ්‍යයේ සකලවිධ බලය පාර්ලිමේන්තුවෙන් පිටස්තර විධායක ජනාධිපති කෙනෙකු අත කේන්ද්‍රගත කෙරුණු ආණ්ඩු ක‍්‍රමයකි. විශ්වාස භංග යෝජනාවක්ද ජනාධිපති වරයා කෙරෙහි බලපාන්නේ නැත. අනෙක් අතට එංගලන්තයේ 1848න් පසුව මොනම පුද්ගලයකුට එරෙහිවවත් දෝෂාභි යෝගයක් ඉදිරිපත් වී නැත.

7. ව්‍යවස්ථාදායකයට එරෙහිව අධිකරණයට තීන්දු හෝ නියෝග දිය නොහැකිය කියන මතයද සාවද්‍යය. ඉතාමත් විශේෂ අවස්ථාවලදී ව්‍යවස්ථාදායක තීරණයන්ට එරෙහිව අධිකරණයට නියෝග හා තීන්දු දිය හැකි අතර ඒ සඳහා නිදර්ශන අසල්වැසි ඉන්දියාවෙන් ලබාගත හැකිය.

8. ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී තිබෙන අර්ථ නිරූපණය හා විශේෂ කාරක සභා තීන්දුව නිෂ්ප‍්‍රභ කරමින් අභියාචනාධිකරණය ලබාදී තිබෙන තීන්දුව සාධාරණ නොවේ නම් ආණ්ඩුව කළයුතුව තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කැරෙන ආකාරයට දෝෂාභියෝගය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම නොව, අධිකරණය ඉදිරියට ගොස් එම තීරණයන්ට අභියෝග කිරීමය. අභියාචනාධි කරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාහැකිව තිබුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප‍්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිව තිබුණි. එසේ කරනවා වෙනුවට අධිකරණ තීරණයන් නොසලකා ක‍්‍රියාකිරීම මගින් ලබාදී තිබෙන පූර්වාදර්ශය විනාශකාරිය.

9. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බලයට අදාළව ආණ්ඩුව ලබාදී තිබෙන වැරදි හා හිතුවක්කාරී පූර්වාදර්ශය මින්මතු ව්‍යවස්ථාවට අදාළ ප‍්‍රශ්නවලදී අධිකරණයේ අනුමැතිය නැතිව හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකිරීමේ බලයක් ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත් ලබාදී තිබෙන්නේය. එය නීතියේ ආධිපත්‍යයට තිබෙන බලය තවදුරටත් දුර්වල කොට ආණ්ඩු පාලනයේ හිතුවක්කාරී ස්වභාවය වර්ධනය කිරීමට හේතුවනු ඇත.

10. ශිරාණි බණ්ඩාරනායකගේ ධුරයේ පැවැත්ම අධිකරණය විසින් ආරක්ෂා කර තිබෙන තත්ත්වය ඉදිරියේ ජනාධිපතිවරයා විසින් අලූතෙන් පත්කරනු ලබන අගවිනිසුරුවරයාට ඉඩ ලබාදීම සඳහා අගවිනිසුරුවරිය කායික වශයෙන් ඉවත් කරන තැනකට යන්නට ආණ්ඩුවට සිදුවන්නේය. එම තත්ත්වය අලූත් අර්බුද ඇති කිරීමට හේතුවනු ඇත. නව අගවිනිසුරුවරයාට බලය තහවුරු කරගැනීම සඳහා සටන් කරන අය මර්දනය කරන පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවනු ඇත. ඒ තත්ත්වය අධිකරණයේ ගැටුම් හා අවුල් ඇති කිරීමට හේතුවනු ඇත.

11. මෙම ආරාවුල විනිශ්චයකාරවරුන් අතර සේ ම නීතිඥයන් අතරද පහසුවෙන් පහ කළ නොහැකි පීඩාකාරී මානසික වටාපිටාවක් ඇති කිරීමට හේතුවනු ඇත. එම තත්ත්වය රටේ යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමය හා ක‍්‍රියාවලිය විශාල වශයෙන් අවුල් කිරීමට හේතුවනු ඇත.

12. ඒ සියල්ලෙහි අවසාන ප‍්‍රතිඵලය වනවා ඇත්තේ නීතියේ ආධිපත්‍යයට තිබෙන පිළිගැනීම බිඳවැටී අරාජික ක‍්‍රියාකාරකම් වර්ධනය වීමය. එම තත්ත්වය දේශපාලන තලයෙහි පමණක් නොව, ආර්ථික හා සමාජීය තලවලද අවුල් ඇතිකිරීමට හේතුවනු ඇති අතර එම තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය තවදුරටත් දුර්වල කිරීමට හා කැළැල් කිරීමට හේතුවනු ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: