අවිචාරය, උද්දච්චකම හා අශීලාචාරත්වය

13 Jan

මීට පෙර බලයේ සිටි කිසිම ආණ්ඩුවක් නොකළ බරපතළ හා සාහසික වරදක් අගවිනිසුරු අර්බුදයේදී මේ ආණ්ඩුව විසින් කර තිබේයැ යි කිවහැකිය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හා අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දු හා නියෝග නොසලකා ක‍්‍රියාකිරීමය. ඒ මගින් ආණ්ඩුව අධිකරණයේ සුජාතභාවය අහෝසි කරන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කිරීම මගින් ආණ්ඩුවේ සුජාතභාවයද අහිමි කරගෙන තිබේයැ යි කිව හැකිය. 

ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 125 (1) වගන්තිය යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයට අදාළ ප‍්‍රශ්න විභාග කොට තීන්දුදීමේ තනි හා අනන්‍ය බලය පැවරී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව භාරගැනීම පළමු කොට ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළේය.

ලෝකයේ ලොකු කුඩා කිසිම ව්‍යවස්ථාවක ව්‍යවස්ථානුකූලව විසඳාගත යුතු සියලූ ප‍්‍රශ්න ව්‍යවස්ථාවට අඩංගුවන්නේ නැත. සමහර ව්‍යවස්ථා ඉතාමත් කුඩාය. ඇමරිකන් ව්‍යවස්ථාව වගන්ති කොටස් තුනකින් යුතුය. එහි මුල් පිටපතේ දීර්ඝ බව, අතින් ලියන ලද පිටු 9ක් විය. වචන සංඛ්‍යාව 7000කි. ඉන්දියානු ව්‍යවස්ථාව සැලකෙනුයේ ලෝකයේ තිබෙන දීර්ඝතම හා විස්තරාත්මක ව්‍යවස්ථාව වශයෙනි. එය වගන්ති කොටස් 395කින්ද, උපලේඛන 9කින්ද යුතුවිය. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකම සංවර්ධනය වී තිබෙන්නේ ඒවාට ඉදිරිපත් කැරෙන ව්‍යවස්ථා සංශෝධන හා අර්ථ නිරූපණ ඔස්සේය. ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමේ බලය තිබෙන්නේ අධිකරණයට නොව ව්‍යවස්ථාදායකයටය. එහෙත් ඒවා ආණ්ඩුක‍්‍රමයේ දර්ශනයට අනුකූලද යන්න සොයාබැලීමේ සමාලෝචන බලය තිබෙන්නේද අධිකරණයටය. තවදුරටත් පැනනැගෙන ප‍්‍රශ්නවලදී ඒවා අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේද අධිකරණයටය. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය කිසිදු රටක් අධිකරණයෙන් බැහැර කොට ව්‍යවස්ථාදායකය වෙත පවරාගෙන නැත.

සාමාන්‍යයෙන් ශිෂ්ටසම්පන්න හැම ව්‍යවස්ථාවක් පාහේ දේශපාලන බලය මහජනයාගෙන් ලැබෙන බලයක් ලෙස පිළිගනී. අපේ රටේ ව්‍යවස්ථාව මහජන බලයට වඩා ජනාධිපතිගේ පරම බලයට බර තබා සකස් කරන ලද ව්‍යවස්ථාවක් වුවද එයද බොරුවට හෝ මහජනයාගේ පරමාධිපත්‍යය බලය පිළිගනී. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරිමේදී මහජන බලය සැලකිල්ලට ගැනීම අධිකරණයේ වගකීමක් හා යුතුකමක් ලෙස සැලකේ. පාලකයාට අනිසි බලයක් පවරා ගැනීමට ඉඩ නොතබා මහජනයාගේ නිදහස ආරක්ෂා කැරෙන ආකාරයට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම අධිකරණයේ වගකීම ලෙස සැලකේ.

ව්‍යවස්ථා අර්ථ නිරූපණය ආණ්ඩුක‍්‍රමයක තිබිය යුතු ඉතා අත්‍යවශ්‍ය වැදගත්ම අංගයක් ලෙස සලකන්නට වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. හේතුව මහජන බලයෙන් තේරී පත්වන පාලකයකු ඒකාධිපතියකුගේ තත්ත්වයට පත්වූ විට සිදුවිය හැකි විනාශය කොතරම් විශාලද යන්න හිට්ලර්ගේ විනාශකාරී අත්දැකීම් විසින් පෙන්වා දී තිබීම නිසාය. එම බිහිසුණු අත්දැකීමෙන් පසුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය අධිකරණයට ලබාදීමෙන් ව්‍යවස්ථාදායක ඒකාධිපති පාලනයක් ඇතිවීම වැළකිය හැකිවනු ඇතිය යන්න ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි න්‍යායවාදීන් අතර පිළිගත් මතයක් බවට පත්විය. ඉන්පසු බොහෝ රටවල් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය අධිකරණය වෙත ලබාදෙන ලද අතර පසුව එය ලෝකය පොදුවේ පිළිගත් ව්‍යවස්ථා සම්ප‍්‍රදායයක් බවට පත්වීයැ යි කිවහැකිය. බි‍්‍රතාන්‍යය හා ඩෙන්මාර්කය හැර අනෙක් හැම රටක්ම පාහේ එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ඒ සඳහාම ඇති කළ විශේෂ අධිකරණ ආයතනයකට පවරා තිබේයැ යි කිව හැකිය.

රිට් ආඥා බලය

පුද්ගලයකුට නීතියට පටහැනිව හානියක් ඇති කරන ආකාරයට මුල් අවස්ථා අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක හෝ වෙනත් ආයතනයක් විසින් දෙන ලද තීන්දුවකදී අභියාචනාධිකරණයක් ඉදිරියට ගොස් තමාට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බැවින් ඒ ගැන නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටීමේ අයිතියක් ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තියෙන් ලබාදී තිබුණේය. එවැනි අවස්ථාවකදී දඬුවම් කරනු ලැබූ ආයතනයේ වාර්තා සෝදිසි කිරීමේ හා පරීක්ෂා කිරීමේ බලයද නීතිය අනුව සර්ටියෝරාරි, ප්‍රෙසිඩෙන්ඩෝ, මැන්ඩාමුස් හෝ ක්වෝවොරොන්ටෝ ගණයේ රිට් ආඥා නිකුත් කිරීමේ සම්පූර්ණ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණයට ලබාදී තිබුණි.

රිට් ආඥා සම්ප‍්‍රදාය එංගලන්තයේ දෙවැනි එඞ්වඞ් රජුට පෙර සිටද තිබී එඞ්වඞ් රජුගේ කාලයේදී හොඳින් තහවුරු වී, පසු කාලයකදී ලෝකයේ ශීලාචාර බොහෝ රටවල් සිය නීති සම්ප‍්‍රදායයන්ට එකතු කරගෙන ඇති නීති සිද්ධාන්තයක් ලෙස සැලකිය හැකිය. එය සැලකුණේ පැහැරහැරීමට කිසිදු ඉඩක් නැති රජුගේ ආඥාවක් ලෙසය. එය ලංකාවේද 1835 සිට පැවත එන සම්ප‍්‍රදායකි.

රිට් ආඥා ක‍්‍රමය ලංකාව බි‍්‍රතාන්‍ය යටත්විජිතයක්ව පැවති යුගයේදී ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයාට එරෙහිව පාවිච්චි වූ අවස්ථාවක් පවතී. ඒ කාලයේදී ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා අපේ කාලයේ විධායක ජනාධිපතිටත් වඩා බලවත් විය. වතු පාලකයකු ලෙස ලංකාවට පැමිණ සිටි බ්‍රේස්ගර්ඞ්ල් නමින් වන ඕස්ටේ‍්‍රලියානු ජාතික වතු පාලකයකු, ලංකාවේ සමසමාජ ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක‍්‍රියාකළේය. සමසමාජ පක්ෂය විසින් නාවලපිටියේදී පවත්වන ලද ප‍්‍රසිද්ධ රැුස්වීමක් අමතා කතා කරමින් බ්‍රේස්ගර්ඞ්ල් සුදු වතු පාලකයන්ගේ කටයුතු බලවත් ලෙස විවේචනය කළේය. ඒ ගැන සුදු වතු පාලකයන් මගින් ස්ටබ්ස් ආණ්ඩුකාරයාට දැනගන්නට ලැබී සුදු වතු පාලකයකු සමසමාජ ව්‍යාපාරයට එකතු වී සිටීම ගැන කෝපයට පත්වූ ආණ්ඩුකාරවරයා බ්‍රේස්ගර්ඞ්ල් 1937 අපේ‍්‍රල් 27 වැනි දිනට පෙර පැය 48ක් තුළ ලංකාවෙන් පිටවී යායුතු බවට නියෝග කළේය.

සමසමාජ පක්ෂය ටික දිනක් බ්‍රේස්ගර්ඞ්ල් සඟවාගෙන සිට ඉන්පසු පොලීසියට අත්අඩංගුවට ගැනීමට සලස්වා ආණ්ඩුකාරයාගේ පිටුවහල් නියෝගයට එරෙහිව රිට් ආඥාවක් ලබාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. එම පෙත්සම විභාගයට ගැනුණේ අගවිනිසුරු ඒබ‍්‍රහම්ස් ප‍්‍රමුඛ රජ තුන්කට්ටුවක් ඉදිරියේය. පුද්ගලයකු රටින් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරවරයාට ලැබී තිබෙන බලය කිරීටයෙන් ලැබී තිබෙන විශේෂ බලයක් නිසා යටත්විජිත ලේකම්වරයාට හැර ඒ ගැන ප‍්‍රශ්න කිරීමේ බලයක් අධිකරණයට නැති බවට නීතිපතිවරයා එහිදී තර්ක කළේය. එහෙත් රජ තුන්කට්ටුව නීතිපතිගේ තර්කය පිළිගත්තේ නැත. ආණ්ඩුකාරයාට ඒ බලය පාවිච්චි කළහැක්කේ යුද්ධයක් හෝ කැරලිකාර තත්ත්වයක් පවතින විශේෂ අවස්ථාවකදී පමණක් බව ප‍්‍රකාශ කරමින් බ්‍රේස්ගර්ඞ්ල් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළේය. මා මේ මගින් උත්සාහ කරන්නේ රිට් ආඥා සම්ප‍්‍රදායට තිබෙන බලමහිමයේ ප‍්‍රමාණය පෙන්නුම් කිරීමය.

ශීලාචාරකම අහිමි කරගැනීම

එය මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය අධිකාරියක් හෝ වෙනත් පාලන අධිකාරියක් විසින් දෙනු ලබන නීතියට පටහැනි අසාධාරණ තීන්දුවකදී අසාධාරණයට ලක්වූ පුද්ගලයාට සහන ලබාගැනීමට තිබෙන බලවත්ම ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පමණක් ඊට පෙර අගමැති ධුරය හෙබවූ සිරිමා බණ්ඩාරනායක මහත්මියද ඇයට එරෙහිව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නියමයෙන් ඇගේ පාලන කාලයේදී සිදුවී තිබූ වැරදි සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එරෙහිව සර්ටියෝරාරි ආඥාවක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. ඒ මොහොත වනවිට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබූ එජාප ආණ්ඩුව අතිවිශාල බලයක් හිමිකරගෙන තිබුණේය. ඒ බව නොසලකා අභියාචනාධිකරණය ඇගේ දුක්ගැනවිල්ලට ඇහුම්කන්දී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව බලරහිත කරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කළේය. ආණ්ඩුව එම ආඥාව ජයගත්තේ දෙන ලද නියෝගය ප‍්‍රතික්ෂේප කිරීමෙන් නොව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එවැනි නඩුකරයක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදීමෙනි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද පුහු තර්කය වූයේ ජනාධිපති විමර්ශන කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන නිසා ඔවුන් කරන විමර්ශනයක් සම්බන්ධයෙන් තීන්දුදීමේ බලය ඊට වඩා පහළ අධිකරණයකට ලබාදීමට නුසුදුසු බවය. එය අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකතු කළ පළමු සංශෝධනය විය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියටද තමන්ට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දෙන ලද තීන්දුවට එරෙහිව සර්ටියෝරාරි ආඥාවක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට යන්නට සාධාරණ අයිතියක් තිබුණේය. අභියාචනාධිකරණයටද තේරීම් කාරක සභාවේ තීන්දුව සලකා බලා අවශ්‍ය නම් එය නිෂ්ප‍්‍රභ කරන්නට නීත්‍යනුකූල අයිතියක් සේ ම බලයක්ද තිබුණේය. විටෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තවත් විටෙක අභියාචනාධිකරණය විසින් ද දෙන ලද එම තීන්දු අසාධාරණ හා නීතියට අනුකූල නොවේ නම් ආණ්ඩුව කළයුතුව තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කැරෙන ආකාරයට එම තීන්දු භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නොව අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව ප‍්‍රතිශෝධන අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමය.

අධිකරණයට අවනත නොවන්නේද අධිකරණය බලය පිළිනොගන්නේද සාමාන්‍යයෙන් නීතියට පටහැනි දේවල් සිය ජීවන වෘත්තිය කොටගත් අපරාධකාරී පසුබිමක් ඇති ලූම්පන් වර්ගයේ මිනිසුන්ය. ඔවුහු තමන්ට එරෙහිව අධිකරණය දෙන නියෝග නොසලකා, අධිකරණයට ඉදිරිපත් නොවී අත්අඩංගුවට ගන්නා තෙක්ම තව තව අපරාධකාරී ක‍්‍රියාවල යෙදෙන්නෝය. ශීලාචාර මිනිස්සු නීතියට ගරු කරන්නෝය. එවැනි අය තමන්ට එරෙහිව අධිකරණය දෙන අසාධාරණ නියෝග හා අසාධාරණ නඩු පැවරුම්වලදී පවා අධිකරණය මගහරින්නේ නැත. එවැනි අවස්ථාවලදී පවා සාමාන්‍යයෙන් සිදුවන්නේ අධිකරණය ඉදිරියට ගොස් තමන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කොට ඉන් නිදහස්වීමය.

අධිකරණය හැමවිටම සාධාරණ වන බව ඉන් අදහස්වන්නේ නැත. අධිකරණයද අපේ රටේ අන් හැම ආයතනයක් සේ ම දූෂිතය. එහෙත් එහි තිබෙන දූෂණයන්ට එරෙහිව සටන් කළයුත්තේ අධිකරණයේ බලමහිමය පිළිගනිමින් හා ඊට ගරුකරමිනි.

ආණ්ඩුව මෙම අර්බුදයේදී අධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දු නොසලකා ක‍්‍රියාකිරීම මගින් කර තිබෙන වරද ඉතා බලවත්ය. ඒ මගින් මහජනයාගේ ආරක්ෂාවට තිබෙන ප‍්‍රධාන නීති සිද්ධාන්ත දෙකකට (ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන අර්ථ නිරූපණ බලය හා අභියාචනාධිකරණයට තිබෙන රිට් ආඥා බලය) තිබෙන පිළිගැනීම අහිමිකර තිබේ. අනෙක් අතට අධිකරණයට තිබෙන බලමහිමය ප‍්‍රතික්ෂේප කිරීම මගින් රට නීතියක් නැති අරාජික තත්ත්වයකට යොමුකර තිබෙන අතර ඒ මගින් ආණ්ඩුව තමන්ගේ සුජාතභාවයද අහිමි කරගනිමින් අශීලාචාර ආණ්ඩුවක් වශයෙන් බෞතීස්ම කොට ගෙන ඇතැයිද කිවහැකිය.

අලූත් නීති සම්පාදනයකින් තොරව දෝෂාභියෝගයක් සඳහා තිබෙන ස්ථාවර නියෝග යටතේ වුවත් පවත්වනු ලැබූ පරීක්ෂණය එහි අවසානයේ අධිකරණ සමාලෝචනයට ඉදිරිපත් වන්නට ඉඩ තිබෙන බව කල්තියා තේරුම් ගනිමින් ස්වාභාවික යුක්තියේ මූලධර්ම උපරිම ලෙස ආරක්ෂා කැරෙන ආකාරයට එම පාර්ලිමේන්තු පරීක්ෂණය සිදුකළේ වී නම් මේ සා විශාල අර්බුදයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. ස්වාභාවික යුක්තිය යන්නෙන් අදහස් කරන්නේ සාධාරණව ක‍්‍රියාකිරීමය. ඒ සඳහා පළමු කොට අගවිනිසුරුවරියට ඇයට එරෙහිව තිබෙන චෝදනා ගැන පැහැදිලිව දැනුම්දීමක් කළ යුතුව තිබුණු අතර, චෝදනා පත‍්‍රය සමග කැඳවන්නට අපේක්ෂා කරන සාක්ෂිකරුවන් හා සාක්ෂි ලේඛන මොනවාද යන්න ගැන විස්තරයක් ලබාදිය යුතුව තිබුණි. අවශ්‍ය නම් නීතිඥ සහාය ලබාගනිමින් චෝදනාවලට පිළිතුරුදීමට සාධාරණ කාලවේලාවක් ලබාදිය යුතුව තිබුණි.

සාක්ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට සේ ම, සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලේඛන හබයට ලක්කිරීමටද ඉඩදිය යුතුව තිබුණි. පූර්ව විනිශ්චයකින් තොරව සාධාරණව කරුණු සලකා බලන ප‍්‍රතිපත්තියක් සේ ම තීන්දු කිරීමේ ක‍්‍රියාවලියද සාධාරණව සිදුකළ යුතුව තිබුණි.

තේරීම් කාරක සභාව එසේ කිරීමට සමත්වී නම් අධිකරණ සමාලෝචනයකදී ආත්ම විශ්වාසයකින් යුතුව අධිකරණය ඉදිරියට ගොස් ඊට මුහුණදීමේ හැකියාව තේරීම් කාරක සභාවට ලැබෙන්නට ඉඩ තිබුණි. ඔවුන් කරන ලද පරීක්ෂණයට හා දෙන ලද තීන්දුවට අධිකරණයෙන්ද පිළිගැනීමක් ලබාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

ඇත්තටම සිදුවී තිබෙන්නේ ඊට පටහැනිව සියල්ල අනාගැනීමය. ඇතිවී තිබෙන මෙම අර්බුදය එම අනාගැනිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

විය හැක්කේ කුමක්ද?

ආණ්ඩුව අධිකරණය දී තිබෙන තීන්දු නොසලකා අගවිනිසුරුවරිය තනතුරින් පහකිරීම සඳහා ආරම්භ කොට පවත්වාගෙන යන ක‍්‍රියාදාමය තර්කානුකූල අවසානයක් දක්වා ඉදිරියට ගෙනයෑමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ. එහෙත් එය ආණ්ඩුව හිතන තරම් සරල හෝ පහසු දෙයක් වන බවක් පෙනෙන්නට නැත. අධිකරණය විසින් දී තිබෙන තීන්දු දෙක නිසා නිල බලයෙන් අගවිනිසුරු ධුරයේ නීත්‍යනුකූල හිමිකම ඇත්තේ ශිරාණි බණ්ඩාරනායකටය. දෝෂාභියෝග යෝජනාව සම්මත කොට ජනාධිපතිගේ නියමයෙන් නව අගවිනිසුරුවරයකු පත්කළද ඒ නිසා ශිරාණි බණ්ඩාරනායකගේ තනතුර අවලංගුවීමක් සිදු නොවන නිසා ඇය දර්ශනයෙන් ඉවත් කිරීම සඳහා කායික බලයෙන් ඇය ඉවත් කිරීමට හෝ ඇය අත්අඩංගුවට ගැනීමට හෝ ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. එවැනි දෙයක් කළා වුවද එකම තනතුරට අගවිනිසුරුවරුන් දෙදෙනකු සිටීම පිළිබඳ ප‍්‍රශ්නය අවසන්වන්නේ නැත. දැනටමත් අධිකරණය අගවිනිසුරුවරියට වාසිදායක තීන්දු දෙකක් දී තිබෙන තත්ත්වය ඉදිරියේ නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම වළකන හෝ පත්වූ අගවිනිසුරුවරයාගේ පත්වීම නිෂ්ප‍්‍රභ කරන අධිකරණ නියෝගයක් පනවන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

පාකිස්තානු නිදර්ශනය

ඇතිවන්නට නියමිත තත්ත්වය යම් තරමකට 2007 වසර අවසානයේදී මුෂ්රාෆ් නැවත බලයට පත්වීමෙන් පසු හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයට සමාන විය හැකිය.

මුෂ්රාෆ් 2007 නොවැම්බර්වලදී නැවත ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව නොවැම්බර් 3 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා බලපාන ආකාරයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කොට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මකවීමද තාවකාලිකව අත්හිටුවන ලදි. එහෙත් නොවැම්බර් 2 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට බැරිස්ටර්වරයෙකු ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීම වළකන තහනම් නියෝගයක් අගවිනිසුරු ඇතුළු හත්දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ප‍්‍රකාශ කර තිබුණි. ජනාධිපති මුෂ්රාෆ් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබූ එම නියෝගය නොසලකාය. ඒ සමග හදිසි තත්ත්වය යටතේ ප‍්‍රකාශ කර තිබූ පළාත් ව්‍යවස්ථා නියෝගය යටතේ අලූතෙන් දිවුරුම් දෙන ලෙස විනිශ්චයකාරවරුන්ට නියෝග කළේය. එහෙත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබූ නියෝගයට පටහැනිවූ බැවින් අගවිනිසුරු චෞද්‍රි ඇතුළු උසස් අධිකරණයේ විනිසුරුවරුන් බහුතර පිරිසක් පළාත් ව්‍යවස්ථා නියෝගය යටතේ දිවුරුම්දීම ප‍්‍රතික්ෂේප කළහ.

දිවුරුම්දීම ප‍්‍රතික්ෂේප කළ අගවිනිසුරු ඇතුළු සියලූ විනිසුරුවරුන් නිවාස අඩස්සියේ තබන ලද අතර නව අගවිනිසුරු ධුරයට දිවුරුම් දුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතුරින් කෙනකු පත්කරන ලදි. එහෙත් පත්කරන ලද නව අගවිනිසුරු පිළිගැනීම නීතිඥ ප‍්‍රජාව ප‍්‍රතික්ෂේප කරන ලද අතර විනිසුරුවරුන් විශාල පිරිසක් නිවාස අඩස්සියේ තබාගැනීම නිසා කිසියම් කාලයක් යන තෙක් උසාවිවල කටයුතු කරගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිවිය. මුෂ්රාෆ් පත් කළ නව අගවිනිසුරු හා හිටපු අගවිනිසුරු අතර වසර දෙකක් තිස්සේ පැවති කඹ ඇදිල්ල අවසන් වූයේ අගවිනිසුරු චෞද්‍රි නැවත අගවිනිසුරු ධුරයට පත්වීමෙනි. ඉන්පසු කම්කරු මහාධිකරණයේ ප‍්‍රධාන විනිශ්චයකාරවරයා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු දිවුරුම් දුන් විනිශ්චයකාරවරුන්ට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලූ අගවිනිසුරු චෞද්‍රි ප‍්‍රමුඛ 14 දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් අධිකරණ නියෝගයට පටහැනිව හදිසි තත්ත්වයක් යටතේ දිවුරුම් දුන් විනිසුරුවරුන්ට ඒ කරන ලද වැරදි ක‍්‍රියාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ගන්නා ලෙසත් එසේ නොවේ නම් ඔවුන්ට එරෙහිව උසාවි අපහාස නීතිය යටතේ දඬුවම් කරන බවත් ප‍්‍රකාශ කළේය. ඒ අනුව මුෂ්රාෆ් අගවිනිසුරු ධුරයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ඇතුළු නීති විරෝධී දිවුරුම්දීමට සම්බන්ධ වූ සියලූ විනිසුරුවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් සමාව ලබාගැනීමට සිදුවිය.

මෙම ආරාවුලේදී ආණ්ඩුව අනුගමනය කළ උද්දච්ච හා දරදඬු ප‍්‍රතිපත්තිය අගවිනිසුරුවරිය තනි කොට පහරදීමට තිබෙන හැකියාව අහිමි කොට එය සමස්ත අධිකරණයට එරෙහිව කැරෙන ගොරෝසු අරගලයක් බවට පත් කළේය.

පාර්ලිමේන්තුව හා අධිකරණය

කවර හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුවට නියෝග දීමේ බලයක් අධිකරණයට නැතැයි කියන කතාවේ ඇත්ත නැත්තද ඉතාමත් කෙටියෙන් වුවද සලකා බැලීම වැදගත්ය. 1980 දෙසැම්බර් 9 වැනිදා අබේරත්න පිලපිටිය සම්බන්ධයෙන් කතානායක බකිර් මාකර් මහතා දෙන ලද තීන්දුවෙන් එය ආරම්භ කළ හැකිය. අබේරත්න පිලපිටිය 1979 මැතිවරණයේදී කලවාන ආසනයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරයා වන අතර ඔහුගේ පත්වීමට එරෙහිව සුළු ඡන්ද ප‍්‍රමාණයකින් පරාජය වී සිටි සරත් මුත්තෙටුවේගම විසින් පවරන ලද ඡන්ද පෙත්සමක් පිලපිටියගේ අවාසියට හේතුවන ලෙස විභාගවෙමින් තිබියදී ඔහු එකදිගට නිවාඩු ලබාගැනීමකින් තොරව පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා ඔහුගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමිවිය. ඒ සමග ආණ්ඩුව කළේ එම අසුනට අබේරත්න පිලපිටියම අලූතෙන් නම් කිරීමය. ඒ අනුව ඔහුගේ නීතිඥයන් ඡන්ද පෙත්සම් විභාගයේදී තර්ක කළේ දැන් පාර්ලිමේන්තුවේ සිටින්නේ ඡන්දයෙන් තේරී පත්වූ පිලපිටිය නොව පාර්ලිමේන්තුවට නම් කොට පත් කරනු ලැබූ පිලපිටිය කෙනකු වන නිසා ඡන්ද පෙත්සම් විභාගය තවදුරටත් ඉදිරියට ගෙන නොයා යුතු බවය. එහෙත් ඒ තර්කය අධිකරණය පිළිනොගන්නා ලදි. ඡන්ද පෙත්සම් තීන්දුවෙන් ඔහුගේ තේරීපත්වීම අවලංගු කරන ලදි. එහෙත් ඔහු මන්ත‍්‍රීකමින් ඉල්ලා අස්නොවී පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි විය. මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද පෙත්සම් තීන්දුව අනුව අතුරු මැතිවරණයකට නාමයෝජනා කැඳවා අතුරු මැතිවරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේය.

එජාප කලවාන අතුරු මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළේ නැත. ඒ වෙනුවට පිලපිටිය කළේ තමාගේ මන්ත‍්‍රීකම පිළිබඳව කතානායකවරයාගෙන් තීන්දුවක් ඉල්ලා සිටීමය. ඔහු කියා සිටියේ තමා කලවාන ආසනය සඳහා නැවත තේරී පත්වී තිබෙන්නේ පත් කළ මන්ත‍්‍රීවරයකු වශයෙන් වන නිසා කලවාන ආසනය සඳහා තවත් ඇබෑර්තුවක් නැති බවය. ඒ ගැන තීන්දුව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කතානායකවරයා ඊට දෙන ලද තීන්දුව වූයේ පිලපිටිය මහතා ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ පත් කළ මන්ත‍්‍රීවරයකු වන නිසා ඔහු කලවාන ආසනයේ මන්ත‍්‍රීවරයා වශයෙන් පිළිගන්නා බවය.

කතානායකවරයාගේ මෙම තීන්දුවට එරෙහිව කතානායකවරයාට එරෙහිව විරුද්ධ පක්ෂ විශ්වාසභංග යෝජනාවකට කල් දුන්නේය. කතානායකවරයා එම තීන්දුව දෙන අවස්ථාව වන විට, ආසනය අහිමිවූ පිලපිටිය ඡන්ද පෙත්සම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඒ නඩුවෙන්ද ඔහු පරාජය වී තිබුණි. කතානායකවරයා එම තීන්දුව දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවද නොසලකාය.

කතානායක දුන් තීන්දුව ආරක්ෂා කිරීම පිණිස ආණ්ඩුව කළේ කලවාන ආසනයට මන්ත‍්‍රීවරුන් දෙදෙනකු සිටිය හැකි ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමය. ශ්‍රේෂ්ඨාධිකරණය ඊට කන් දුන්නේ නැත. එම විභාගයේදී කතානායකවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාකලාපය අගවිනිසුරුවරයා දැඩි ලෙස ප‍්‍රශ්න කළේය. එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව කතානායකවරයාට එරෙහිව දෙන ලද තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ තේරීපත්වූ සරත් මුත්තෙට්ටුවෙගමට ඉඩදීම සඳහා මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වීමට අබේරත්න පිලපිටියට සිදුවීමය. එසේ නොවේ නම් කතානායකවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් වන්නට තිබුණේ ඒ අවස්ථාවේදීය.

කතානායකවරයා දෙනු ලබන සමහර තීන්දු අධිකරණ විමර්ශනයකට ලක් කළ හැකි බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තීන්දු දෙකක්ම(Rajendra Singh Rana vs Swami Prasad Maura (2007) සහ Jagjit Singh vs Speaker State of Haryana(2012) )ලබාදී තිබේ. පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය පාකිස්තානු අගමැතිවරයාට තනතුර අහිමි කිරීමට හේතුවූ නඩු තීන්දුව සඳහා පාදක කොටගෙන තිබෙන්නේද කතානායකවරයාගේ සමහර තීරණයන් අධිකරණ විමර්ශනයකට ලක් කළ හැකි බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබුණු එම තීන්දු දෙකය.

වික්ටර් අයිවන්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: