ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි – රට අවුලකට

6 Jan

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විභාග කරන්නට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට බලයක් හෝ අධිකාරයක් නැතැ යි ප‍්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති අර්ථ නිරූපණ තීන්දුව පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමෙන් රටේ ප‍්‍රධාන පාලන ආයතන අතර බරපතළ ගැටුමක් හටගෙන රටේ පාලනය අවුලට යනු ඇතැ යි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියති.

පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණ තීන්දුව තමන්ගේ ඉදිරි කටයුතුවලට බලපෑමක් සිදුකරන්නේ නැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය එවන තීන්දුවලින් පාර්ලිමේන්තුව බැඳී නොසිටින බවත් මේ ගැන රාවය කළ විමසීමකදී වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඔහු දෝෂාභියෝග විභාගය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේද සාමාජිකයෙකි.

ඉහළ අධිකරණ තීන්දුවලින් පාර්ලිමේන්තුව බැඳී නැති බව කතානායකතුමා තීරණය කළා. ඒ නිසා අගවිනිසුරු වරිය සම්බන්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අධිකරණ තීන්දුවෙන් කිසිම බාධාවක් නැහැ. පාර්ලිමේන්තුව ස්වාධීනයි. අමාත්‍යවරයා පැවසීය.

මෙම තීන්දුව පාර්ලිමේන්තුව විසින් භාරනොගන්නා බවත්, ඒ අනුව කිසිදු බාධාවක් නොමැතිව පාර්ලිමේන්තුව තීරණය කරන පරිදි සිය කටයුතු කරගෙන යනු ඇති බවත් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යයට බාධා කරන්නට අධිකරණයට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් රාවය කළ විමසීමකදී ජලසම්පාදන හා ජලාපවහන කටයුතු පිළිබඳ අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතුවලට මැදිහත්වීමට වෙනත් ආයතනයකට කිසිදු බලයක් නැති බවය.

පාර්ලිමේන්තුව තුළ සිදුවන වාද විවාද, සාකච්ඡා ඇතුළු කිසිදු කටයුත්තක් නවත්වන්නට හෝ ඒ සම්බන්ධව සිදුවන කටයුතු ගැන තීරණයක් ගන්න වෙනත් කිසිම ආයතනයකට බැහැ. ව්‍යවස්ථාවේ සඳහන් මහජන නියෝජන ආයතනය හැටියට අපි ඉදිරියේදීත් කටයුතු කරනවායැ යි අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණ තීරණය සම්බන්ධයෙන් රාවයට අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා පැවසුවේ විධායකයත් ව්‍යවස්ථා දායකයත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළව ලබා දුන් තීන්දුව පිළිගෙන කටයුතු කරනු ඇතැ යි තමා බලාපොරොත්තු වන බවය.

අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ එකම, තනි හා අනන්‍ය අධිකරණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒක ව්‍යවස්ථාදායකයත් විධායක යත් නිසැකවම පිළිගත යුතුයි. එහෙම නොවුණොත් සිදුවන්නේ අනීතික ක‍්‍රියාවක්. ඒ හරහා රට අනිවාර්යයෙන්ම අරාජි කත්වයට යනු ඇතැ යි ඔහු තවදුරටත් පැවසීය.

දෝෂාභියෝග ක‍්‍රියා වලිය හා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදුවුණු දේවල් හා ඉදිරියට සිදුවන්නට නියමිත සියලූ දේවල්ද නීති විරෝධී වෙනවායැ යි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේසී වැලිඅමුණ මහතා රාවය කළ විමසීමේදී පැවසීය.

එම පැහැදිලි හා නීත්‍යනුකූල තීන්දුවට අනුව පාර්ලිමේන්තුව කටයුතු නොකළහොත් රට අරාජික වනු ඇති බවත් ඔහු පැවසීය. මේ තත්ත්වය තුළ බලය පාවිච්චි කරලා අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කළහොත් එය මුළුමනින්ම නීති විරෝධියි ඔහු වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල්. ගුණසේකර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ අහංකාරයෙන් හා මමත්වයෙන් පිම්බුණු ආණ්ඩුව විසින් පිළිගනු ඇතැ යි තමා නොසිතන බවය.

එයින් මේ රටට සිදුවන්නේ විශාල අනතුරක්. ඒක කොයිතරම් දුරකට යන අර්බුදයක්ද කියලා හිතන්න තරම් ඕනකමක් ආණ්ඩුවට තියෙන බවක් පෙනෙන්නේ නැහැ. යම් හෙයකින් අගවිනිසුරුවරිය ඉවත් කළහොත් එතැනින් එහාට රට යන්නේ විශාල අර්බුදයකට. එතැනින් එහාට රටේ නීතියක් නැතිවෙනවායැ යි ඔහු පැවසීය.

මෙතැන් පටන් රජය දෝෂාභියෝගය සම්බන්ධයෙන් කරන සෑම දෙයක්ම නීති විරෝධී වන බවත්, ආණ්ඩුව දූරදර්ශී නම් දෝෂාභියෝග ක‍්‍රියාවලිය වහාම නැවැත්විය යුතු බවත් එසේ නොවුණහොත් රටේ තිබෙන්නේ ඉහළම අධිකරණයේ තීරණයවත් පිළිනොගන්නා ආණ්ඩුවක් බවට ජාත්‍යන්තරයේද අවමානය පත්විය හැකි බවත් ඒ ගැන අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එල්මෝ පෙරේරා කීවේය.

මෙපමණ කල් දෝෂාභියෝගය සම්බන්ධ අධිකරණ තීන්දුවක් තිබුණේ නැහැ. නමුත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දී තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව කටයුතු නොකළහොත් රට අඳුරට යෑම ඒකාන්තයි. ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විනිශ්චයකාරවරයකුගේ වරදකාරීත්වය ගැන තීරණයකට එළැඹීමට කිසිදු නෛතික බලයක් හෝ අධිකාරයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළැඹ ඇත්තේ අභියාචනාධිකරණය විසින් තමන් වෙත යොමු කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙමින්ය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් පෙත්සම්කරුවන් හතරදෙනෙකු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග කිරීමේදී ඇතිවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ ප‍්‍රශ්නයක් නිරාකරණය කරගැනීම සඳහා ඒ සඳහා බලය ඇති එකම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාධිකරණය විසින් යොමු කරනු ලැබ තිබිණි. එහිදී පැන නැගුණු ප‍්‍රශ්නය වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (3) ව්‍යවස්ථාව යටතේ විනිසුරුවරයකු ධුරයෙන් ඉවත්කිරීම සඳහා විභාගයක් පැවැත්වීමේදී එම විභාගයේ චෝදනාවන්ට අදාළ ඔප්පු කිරීමේ ක‍්‍රමවේදය, ඔප්පු කිරීමේ භාරය හා ඔප්පු කිරීමේ මට්ටම ප‍්‍රකාශයට පත්කිරීම හා සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වන්නේද යන්නයි. මේ පිළිබඳව කරුණු සලකා බැලීමෙන් පසු නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ‍්‍රී පවන්, පියසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ තීරණය පසුගිය ජනවාරි 1 වැනිදා අභියාචනාධිකරණය වෙත යවන ලදි. ජනවාරි 3 වැනිදා රැස්වූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විවෘත අධිකරණයේදී ප‍්‍රකාශයට පත් කළේය.

මෙකී තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 125(1) ව්‍යවස්ථාව ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ව්‍යවස්ථා අර්ථ නිරූපණ අධිකරණ බලය ලබාදී ඇති බවත් එකී බලය තුළ සිට ක‍්‍රියාකරමින් මෙම තීන්දුව ලබාදෙන බවත්ය.

එසේම එකී තීන්දුවෙහි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (අ) සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් දක්වා ඇත. එකී පැහැදිලි කිරීම අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත්තේ, ස්ථාවර නියෝගයක් යනු නීතියක් නොවන බවත් ඒවා නිසි ක‍්‍රියාදාමයක් මත පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති රීති මාලාවක් පමණක් බවත්ය. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 170 වන ව්‍යවස්ථාවෙහි දක්වා ඇති නීතිය යන යෙදුමෙහි අර්ථ නිරූපණය තුළට මෙම ස්ථාවර නියෝග නොවැටෙන බවත්ය. ස්ථාවර නියෝග 78 (අ) පරිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරනු ලබන බවත් සහ එකී තේරීම් කාරක සභාවට බලය සහ අධිකාරිය එකී 78 (අ) ස්ථාවර නියෝග මගින් ලබාදෙන නමුත් එම ස්ථාවර නියෝග නීතියක් නොවන බව අධිකරණය කියයි.

ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (අ) ප‍්‍රකාරව පත්කරනු ලැබූ තේරීම් කමිටුවකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 107(2) අතුරු විධානය ප‍්‍රකාරව විනිශ්චයකාරවරයෙකුට විරුද්ධව ඉදිරිපත් කරනු ලැබූ දෝෂාභියෝග චෝදනාවක් විභාග කිරීමට නෛතික බලයක් හෝ අධිකාරියක් නොමැති බැවින් එවැනි කමිටුවක තීරණයන් විනිශ්චයකාරවරයෙකුගේ නෛතික අයිතීන්ට හානිකර වන බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 107 (3) ව්‍යවස්ථාව ප‍්‍රකාරව විමර්ශනයක් පවත්වා ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි තීරණයක් දිය හැක්කේ නීතිය මගින් ස්ථාපනය කරනු ලැබූ අධිකරණයකට හෝ විනිශ්චය සභාවකට හෝ වෙනත් ආයතනයකට පමණක් බවත්ය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107(3) ව්‍යවස්ථාව ප‍්‍රකාරව විනිශ්චයකාරවරයෙකුට විරුද්ධව විෂමාචාරය හෝ නොහැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් කර නීතියෙන් බැඳෙන්නාවූ තීරණයන් ලබාදීමට හැකි ආයතනයක් පාර්ලිමේන්තුව විසින් නෛතිකව නිර්මාණය කළයුතු බවයි. එසේම මෙවැනි විමර්ශනයකදී සාක්ෂි ඔප්පු කිරීමේ භාරය, සාක්ෂි ඔප්පු කිරීමේ ක‍්‍රමවේදය සහ සාක්ෂි ඔප්පු කළයුතු ප‍්‍රමාණය නීතිය අනුව නිශ්චිත වියයුතු අතර එසේ විය යුත්තේ ඇතිවන අවිනිශ්චිත තත්වයන් අවම කරගැනීමටත් මෙම විමර්ශනයන් සිදුකරනු ලබන්නේ ඉහළ අධිකරණවල විනිසුරුවන් ඉවත් කිරීමේ කාර්යය සදහා වන බවත් එසේ ඉවත් කිරීමේ අවසාන බලය ඇත්තේ ජනාධිපතිවරයා වෙත නිසා බවත්ය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත්තේ ඉහළ අධිකරණයක විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා වන විමර්ශනයකදී එකී විමර්ශනයේ සාක්ෂි ඔප්පු කිරීමේ ක‍්‍රමවේදය, සාක්ෂි ඔප්පු කිරීමේ භාරය සහ සාක්ෂි ඔප්පු කිරීමේ ප‍්‍රමිතිය අනිවාර්යය අංගයක් වන බවත්, අනිවාර්යය සාධකයක් වන බවත්ය. එසේම නීතිය මගින් ස්ථාපිත කරනු ලැබූ සභාවක් ඉදිරියෙහි එකී චූදිත විනිශ්චයකාරවරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට පෙනී සිට තමන්ගේ නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 125(1) ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණ අධිකරණ බලය හිමිවී ඇති බවත් ඉහතින් විස්තර කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් තීරණය කොට ඇත්තේද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 107 ව්‍යවස්ථාවෙහි ක‍්‍රියාකාරීත්වය සහ භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීම බවත් මෙය කිසිදු ආකාරයකින් ව්‍යවස්ථාදායකයේ වරප‍්‍රසාදවලට හෝ ක‍්‍රියාවලියකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලපෑමක් කිරීමක් නොව තමන්ට හිමිවී ඇති අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය අර්ථ නිරූපණය මගින් පැහැදිලි කර ඇත.

කසුන් පුස්සවෙල/අමිල ප‍්‍රදීප්

Advertisements

One Response to “ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි – රට අවුලකට”

  1. shermie Fernandez January 7, 2013 at 11:44 am #

    අධිකරණ තීන්දුවකට යටත් කරන්න බැරි අති ගරු
    ජනාධිපති තුමා පමණයි.ඒ ඇරෙන්නට කිසිවෙක් හෝ
    කිසිවක් නැත …

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: