වීජේවීර සරමකුත් ඇඳගෙන මහ රෑ කැළෙන් මතුවුණා

9 Dec

සුසිල් සිරිවර්ධනSusil-S

සුසිල් මහත්තයගෙ පාසල් කාලෙ අපූර්වත්වය වින්දේ කොහොමද? මම ඉපදුනේ මතුගම. ඒ 1938දී. තාත්තා වැඩකළේ අගලවත්ත රබර් පර්යේෂණායතනයෙ. පාසල් කාලෙ එනතුරු මම ගත කළේ රබර් කලාපයක. ඒකෙ තිබුණු විශේෂත්වය තමයි මට විශාල ඉඩකඩක හැසිරෙන්නට ලැබීම. භෞතික වශයෙන් විශාල අවකාශයක හැදී වැඩුණු නිසා ඒක මගේ මනසට බලපෑවා. සීමා රහිතව හිතන්න සිහින දකින්න පළල් කල්පනා ඇතිකර ගන්න අසීමිත අවකාශයක් තිබිය යුතුයි කියන එක මට හිතෙනවා. අපේ සමාජයේ තියන උපන්ගෙයි දෝසයක්නෙ කුඩුකේඩුකම. උගත් බුද්ධිමත් අය පවා කුලමල නිසා ප‍්‍රශ්න ඇතිකර ගන්නවා. මම ජීවත්වුණු අවකාශය විශාල නිසා සිතුවිලිත් විශාල වුණා කියලා මට හිතෙනවා.

තාත්තාගෙ භූමිකාව කොහොම එකක්ද?

එයා කේම්බි‍්‍රජ් එකෙන් මල් වගාව ඉගෙන ගත්තු කෙනෙක්. රට පුරා වතු තිබුණා. ලස්සනට චිත‍්‍ර අඳින්නත් පුළුවන්. වනජීවි ඡායාරූප කලාවට ඇල්මක් දැක්වූවා. අපි ඉතින් නිතර කැළෑවට ගියා. තාත්තා ඔබේසේකර පරපුරේ කෙනෙක්. බණ්ඩාරනායකගෙ අම්මයි, අපේ තාත්තගේ අම්මයි සහෝදරියෝ. ඒ කියන්නෙ කි‍්‍රස්ටෝපර් ඔබේසේකරගෙ දියණියන්. ඔවුන්ගේ එකම පුතා තමයි ෆොරැස්ටර් ඔබේසේකර. අවිස්සාවේල්ලෙන් එයාව පැරැද්දුවේ පිලිප්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන්නෙ මගෙත් ඥාති සහෝදරියක්.

ඔබේ විශාල අවකාශය පිළිබඳ සිතුවිල්ල පාසල් අධ්‍යාපනයත් එක්ක ගැට ගැහෙන්නෙ කොහොමද?

මම ගියේ ශාන්ත තෝමස් විදුහලට. ඒ කාලෙ පාසලේ සිංහල ඉගැන්වීම සම්පූර්ණයෙන්ම හෙළ හවුල ප‍්‍රවේණියට අරගෙන තිබුණේ. පින්තු ජයවර්ධන කියලා හෙළයෙක් හිටියා. විදුහල්පති වශයෙන් හිටපු ආර්.එස්.ද සේරම්වත් හෙළයට හරවන්න පින්තු ජයවර්ධනට හැකි වුණා. ඊට පස්සේ විනී විතාරණ, සඳදත් කෝපරහේවා, වගේ හෙළයො සේරම මේකට ගත්තා. මේක වෙනම ගුරුකුලයක්. මමත් තද හෙළයෙක් වුණා. ඊට අමතරව මම ඉතිං ඉදිරිපෙළ ශිෂ්‍යයෙක් වුණා. වෙනත් විශේෂ දක්ෂතාවක් නම් පෙන්නුවේ නැහැ. උසස් පෙළදී විශේෂම ගුරුවරයෙක් අපිට මුණගැසුණා වික්ටර් වලතර කියලා. ලූඩොවයික්ගෙන් හොඳටම ඉංගී‍්‍රසි ඉගෙනගත්තු කෙනෙක් එයා අපිට ඉංගී‍්‍රසි ඉගැන්නුවේ ශිෂ්ටාචාරාත්මක වින්දනයක් ඇතිවන විධියටයි. එතුමා නිසා මා තුළ විශාල පෙරළියක් මතු වුණා. ඉංගී‍්‍රසි කියන විෂය යටතේ ඔහු කතා කළේ ඒ කාලෙ පෙන්නපු චිත‍්‍රපටි ගැන. චිත‍්‍රපටි විවේචනය ගැන පාඩමකුත් ඒ සමගම කෙරුණා. වට පිට තියන දැන්වීම්වල භාෂාව භාවිත කර තිබෙන හැටි, ඒවායේ අරමුණු අනවශ්‍යය දේවල් අවශ්‍යතා බවට පත්කරපු හැටි ඔහු අපිට විචාරාත්මකව ඉගැන්නුවා. මේ සේරම කේම්බි‍්‍රජ් කොලිජීයේ එෆ් ආර් ලීවිස් ඉගැන්වීම අරභයා භාවිත කළ ධර්මතා. ඔවුන්ගේ ගුරු කුලයේ තිබුණු විශේෂත්වය තමයි ඉංගී‍්‍රසිය තුළින් ශිෂ්ටාචාරය අගය කිරීමට හා වින්දනය කිරීමට පුරුදු පුහුණු කිරීම. ඒත් එක්කම රසිකත්වය දියුණු කෙරෙනවා. මේක අපිට එන්නෙ මහාචාර්ය ලූඩොවයික්ගෙන්.

50 දශකයේදී රටේ ඇතිවූ දේශපාලන හා සංස්කෘතික පිබිදීමට ඔබ ප‍්‍රතිචාර දැක්වූවේ කොහොමද?

56 පෙරළිය හා රේඛාව පිටවුණේ අපි උසස් පෙළ කරද්දී. මහාචාර්ය සේනක බණ්ඩාරනායක, රංජිත් විජේවර්ධන සහ මම එකතුව එක් අවස්ථාවක පාසල් සඟරාව සම්පූර්ණයෙන්ම චිත‍්‍රපට ගැන විශේෂ කලාපයක් බවට පත් කළා, රේඛාව ගැන ලිව්වා. මේවා සාමාන්‍යයෙන් ශිෂ්‍යයො නොකරන දේවල්නෙ.

ඔක්ස්ෆර්ඞ් එකට යන්නෙ කොයි කාලේද?

1957 දී. වසර 4ක් හිටියා. සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තෙ ඉංගී‍්‍රසි. ඒක ඒ වන විටත් සම්ප‍්‍රදායවාදී විශ්වවිද්‍යාලයක්. කේම්බි‍්‍රජ් ඇතුළු සෙසු ඒවා ඊට වඩා නූතන වෙලා තිබුණා. සංස්කෘතිය, චිත‍්‍රපට, නාට්‍ය සාහිත්‍ය, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය වගේ හැම විෂයක් ගැනම පුළුල් අධ්‍යාපනයක් එහිදී ලබාගත හැකි වුණා. මුළු ලෝකෙම චිත‍්‍රපට එතනට එනවා. ඔක්ස්ෆර්ඞ්වලින් දවල් දොළහට කෝච්චියෙ නැගලා ලන්ඩන්වලට යනවා. එකහමාරට ලන්ඩන්වල. මටඅවශ්‍ය චිත‍්‍රපටිය බලලා රෑ දහයමාරට විතර වෙනකොට ආපසු ඔක්ස්ෆර්ඞ්වලට යනවා.

එතකොට ලෙක්චර්ස් කට් වෙනවනෙ.

මම වැඩිය ලෙක්චර්ස්වලට ගියේ නැහැ. මට වෙනස් ප‍්‍රවේශයක් හසු වෙලා තිබුණා. ඔක්ස්ෆර්ඞ්වල තියන තත්ත්වය තමයි තමන් වැඩිහිටියෙක්. උපාධි අපේක්ෂක ජීවිතය තමන්ට තීරණය කර ගැනීමට ඉඩ ලැබෙනවා. ලේක්චර්වලට යනවද? නැද්ද? යනවානම් කාගෙ ඒවටද යන්නෙ, නොයන්නෙ මොනවටද, ඒවා තීරණය කරන්නෙ ශිෂ්‍යයෝ. ඉගැන්වීමේ ක‍්‍රමය තමයි හැම ශිෂ්‍යයෙක්ම ටියුටර් කෙනෙකුට සම්බන්ධ කිරීම. ශිෂ්‍යයෝ හය දෙනෙක් පමණ ඒ ලෙක්චරට භාර දෙනවා. සතිපතා ටියුටර් අපිට දෙනවා රචනයක් ලියන්න. සති දෙකක විතර කාලය තුළ අපි පොත්පත් පරිශීලනය කරමින් ලියන රචනාවලින් එකක් ටියුටර් අප අතරම කියවලා, සාකච්ඡාවට බඳුන් කරනවා. ඒකයි ඉගැන්වීමේ ක‍්‍රමය. මෙහි වැදගත්ම දේ තමයි රචනය ලිවීමේදී ගත්තු උත්සාහයයි, ඒ සඳහා කියවපු ආශි‍්‍රත පොත පතයි, ඒ කරුණු කාරණා තමන් ස්වාධීනව රචනය ලිවීමට භාවිත කළ විධියයි තුළින් ශිෂ්‍යයා මහත් අත්දැකීම් හා දැනුම් සම්භාරයක් ලැබීම. විෂයට අදාළ විචාර පොත පත කියවීම නිසා විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. ඒ සේරම අපිම තෝරල බේරලා ගත යුතුයි. ඒකයි අධ්‍යාපනය කියන්නෙ. මේ කි‍්‍රයාවලිය නිසා මට නම් ලෙක්චර්ස් වුවමනා වුණේ නැහැ. විශේෂ මහාචාර්යවරයකුගේ දේශනයක් නම් තෝරා බේරාගෙන සවන් දෙනවා. ඒක වින්දනයක්නෙ. ඔහුගේ ඉරියව් ඉදිරිපත් කරන විධිය, ගහන ජෝක් වගේ සේරම ගතහොත් ඒක රඟපෑමක් වගේ. ඒ වගේ අය ටික දෙනෙක් හිටියා.

ඒ දවස්වල ලංකාවේ ශිෂ්‍යයෝ තව කවුද හිටියෙ

ලලිත් ඇතුළත්මුදලි හා ලක්ෂ්මන් කදිරගාමර් මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ. ලලිත් ඔක්ස්ෆර්ඞ් යූනියන් එකට තරග කරලා ඒකෙ සභාපති වුණෙත් ඒ කාලෙ. ලක්ෂ්මන් එතකොට කසාදත් බැඳලා ඔහුගේ ප‍්‍රංශ බිරිඳ සමග එහි සිටියෙ. මම එයාලගෙ ගෙදරත් ගිහින් තියනවා. කැළෑ විද්‍යාව කරපු ලංකාවේ ශිෂ්‍යයෝ පස්දෙනෙක් විතර මෙහි සිටියා. ලංකාවේ ෆොරස්ට් එකට Zoology නැත්නම් Botany කරපු අය බඳවා ගත්තාම මේගොල්ලෝ Forestry පිළිබඳ උපාධියට යවන්නෙ ඔක්ස්ෆර්ඞ් වලට.

විශ්වවිද්‍යාලයේදී දේශ පාලනය ගැන උනන්දු වුණාද?

නැහැ. කලාව පස්සෙනෙ මං එලෙව්වෙ. මෙහේ වගේ විශ්වවිද්‍යාල ඇතුළෙ දේශපාලනයක් එදත් අදත් ඒ රටේ නැහැ. දේශපාලනඥයෝ විශ්වවිද්‍යාලයට ඇවිත් දේශනයක් දෙකක් කරලා යනවා. මැන්ඩෙලා වගේ අය ඇවිත් තියනවා. මං මේ විෂය ගැන උනන්දුවක් දැක්වුවෙම නැහැ.

නැවත ලංකාවට එන්නෙ කොයි කාලෙද?

61දී අවුට් වුණා. දැන් ලංකාවට ගිහින් වැඩකරලා අත්දැකීම් ලබාගන්න ඕනෙ කියන හැඟීමයි මට තිබුණේ. ලංකාවේ ජන ජීවිතය දැන ගන්න හොඳම ක‍්‍රමය සාමාන්‍ය ගුරුවරයෙක් ලෙස ගිහින් උගන්වන එකයි කියලා මම හිතුවා. ඔක්ස්ෆර්ඞ් යනකොට ටයිකෝට් ඇන්ද මම ඉන්දියාව හරහා එනකොට ජාතික ඇඳුමට මාරු වුණා. ඒ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් ආනන්ද ගුරුගේ. මං ඔහු හම්බවෙලා කිව්වා උතුරුමැදට හරි හම්බන්තොටට හරි ගුරු පත්වීමක් ඕනෙ කියලා. අගලවත්තෙ රබර් වතුවලදී වගේම හම්බන්තොටයි අනුරාධපුරෙයි තිබෙන විශාල අවකාශයට මගේ ලොකු කැමැත්තක් තිබුණා. ගුරුගේට පුදුමයි මේ ඉල්ලීම ගැන. පස්සෙ එයා මැලේ වීදියෙ පත්වීම් මාරුවීම් භාරව ඉන්න තුරේසිංහම් මහත්තයාට මාව යොමුකළා. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පත්වීමක් ලැබුණා. ස්කූටරයක් ගත්තා එහේ පාවිච්චියට. සෙන් තෝමස්වලින් ඔක්ස්ෆර්ඞ් ගිහිං අනුරාධපුර සෙන්ට‍්‍රල් එකට ආවාම ඒක මට මුළුමනින් ආගන්තුක වුණා. සිංහල ඉගෙනගන්න දිනමිණේ කර්තෘ වාක්‍යයයි මැද පිටුවයි කියවනවාමයි. වික‍්‍රමසිංහගෙයි, අමසේකරගෙයි පොත් කියවන්නත් පටන් ගත්ත. ඉස්කෝලෙත් ඉතා හොඳ පුස්තකාලයක් තිබුණා. පුස්තකාලයාධිපති යූ.ආර්.ජේ විජේසේන ඔහු කොමියුනිස්ට් පාක්ෂිකයෙක්. ඔස්ටේ‍්‍රලියාවට ගිහින් පුස්තකාල විද්‍යාවත් ඉගෙනගෙන තිබුණා. මේ කාලේ නිශ්ශංක විජේරත්න අනුරාධපුර දිසාපති. ඔහු තමයි එකල ශුද්ධ නගරය ඇතිකිරීමේ වැඩ කඩිනමින් කළේ. එතුමා වසරකට ඉස්කෝලේ පුස්තකාලෙට පොත් ගන්න රුපියල් ලක්ෂයක් පාස් කරලා දෙනවා. පුස්තකාලය වටා නොනිල වශයෙන් ප‍්‍රබුද්ධ සමාජයක් හැදුණා. මම ඉස්කෝලෙ ළමයි එක්ක කදාවළලූ, වෙල්ල වැහුම් කියන නාට්‍ය දෙකත් නිෂ්පාදනය කළා. එතැන තිබුණේ ඒ තරම් ලොකු බුද්ධි ප‍්‍රබෝධයක්.

සිවිල් සේවයට යෑම සිදුවන්නේ කොහොමද?

58න් පස්සෙ නවත්වලා තිබුණ සිවිල් සේවා විභාගය යළි 62 ගැසට් කළා. මට ඕනෙ සේවය ගුරුසේවය තුළදී කරන්න බැහැ වගේ පෙනුණු නිසා මමත් විභාගෙට ඉල්ලූම් කළා. ඈෂ්ලිහල්පෙ මහත්මයත් උදව් කළා. 63 දී විභාගය පැවැත්වුවා. ප‍්‍රතිඵල ආවේ 65 ජූලියේදී. ඬේලිනිව්ස් එකේ ප‍්‍රතිඵල දාලා තිබුණා. පළමුවැනියා මම. තාත්තට එහෙම පුදුම සන්තෝසයක් තිබුණේ. ඊට පස්සෙ ඉතින් විවිධ ආයතනවල මාස 9ක පුහුණුවක් තිබුණා. රේගුව, දෙපාර්තමේන්තුව මහ බැංකුව ආදී හැම තැනකම ඉතාම වැදගත් පුහුණුවක් ලැබුවා. මාත් එක්ක සිංහබාහු නාට්‍යයෙ ඇක්ට් කරපු චාලි ජයවර්ධනත් හිටියා. අපේ බැජ් එකේ 45ක්. පළමුවැනි වරට කාන්තාවකුත් සිටියා.

මුලින්ම වැඩකළේ කොහෙද?

ඉඩම් අමාත්‍යාංශයෙ. ඩඞ්ලිගෙ ආණ්ඩුව ආපු ගමන් අලූත් ව්‍යාපෘති දෙකක් පටන් ගත්තා ඉඩම් අමාත්‍යාංශයේ. එකක් තරුණ ගොවිපොළ යෝජනා ක‍්‍රමය. අනෙක විශේෂ බදු ක‍්‍රමය යටතේ සමාගම්වලට වගා කිරීමට අක්කර දහස බැගින් දීම. සෙඞ්රික් ෆෝස්ටර් තමයි ඒකෙ ප‍්‍රධානියා. මම වැඩ කළේ තරුණ ගොවිපොළ යෝජනා ක‍්‍රමයෙ. මාසෙකට දවස් 15ක් ගමනෙ.

දේශපාලන උනන්දුව ඇතිවෙන්නෙ කොහොමද?

පොඩි ලකී කියලා මගේ ගෝලයෙක් අනුරාධපුරේ හිටියා. මම අනුරාධපුරේ රාජකාරියකට ගිහින් ඉන්න වෙලාවකදී මිනිහා මං හම්බවෙන්න ඇවිත් ජනතා විමුක්ති පෙරමුණ ගැන මුල්වරට කිව්වා. ඔය 70 කිට්ටුව. මිනිහගෙ නම ලක්ෂ්මන් මුණසිංහ. මෙහෙම අලූත් දේශපාලන ව්‍යාපාරයක් තියනවා. සර් ඒක ගැන දන්නවද කියලයි ඇහුවෙ. මං ඇහුවා රහසිගත එකක් නිසා මං කොහොමද දන්නෙ කියලා. හැබැයි ඉතින් තරුණයන් සමග වැඩ කරන නිසා ලංකාවෙ වෙන හැම දෙයක්ම මම දන්නවා කියලයි මං හිතාගෙන හිටියෙ. මේ ගැන විස්තර දැනගන්න කැමතිද ඇහුවම මම ඔව් කිව්වා.

විජේවීර මුණ ගැහෙන්නෙ කොහොමද?

මේ ගොල්ලෝ මාව එක්කගෙන ගියානෙ කතරගම හේනකට විජේවීර මුණගස්වන්න. ඔන්න අපි හේනේ ඉන්නකොට රෑ නමයට දහයට විතර විජේවීර සරමකුත් ඇඳගෙන කැලෙන් මතුවුණා. ආ සහෝදරයා කොහොමද? මට සහෝදරයා ගැන ආරංචියි අනික් කට්ටිය කළ යුතු දේවල් දන්වයි කියලා විනාඩි 15ක් විතර ආගිය කතා බහක ඉඳලා විජේවීර ඒ කලේ ඇතුළටම ගියා.

ඊට පස්සේ මොකද වුණේ

මං කොළඹ ආවා. කාටවත් මේ ගැන කිව්වේ නැහැ. පොඩි ලකී එනවා යනවා. මං දවසක් රුපියල් පන්දහක් දුන්නා පත්තරේ අරමුදලට. උන්ගෙ තිප්පල විද්‍යෝදයනෙ. එතන ගිහිං උන් මේක කියලා වාචාලකමට වගේ. සුළු ධනේශ්වරයන්ගේ හැටිනේ ඔය මහනඩුව යද්දි තමයි ඒක මම දැනගත්තෙ. පියල් සෝමරත්නයි මමයි විරාජ් ප‍්‍රනාන්දුයි මේ වනවිට මාක්ස්වාදය හදාරනවා. විරාජ් වැඩිපුර ජේ.වී.පී සමග සම්බන්ධ වුණා. විජේවීර හම්බවෙන්නත් අපි ඉස්සරහට දැම්මෙ එයාව. විරාජ් ඇවිත් කිව්වා අයියෝ මෙයත් එක්ක දේශපාලනය කතා කරන්න බැහැ එයා ප්ලැට් න්‍යාය පාවිච්චි කරන කෙනෙක් කියලා. විරාජ් තර්ක කරන විදියට විජේවීරට තරහ ගිහිල්ලා. නව වාමාංශික ව්‍යාපාරයක් ඇතිවෙන්න මෙතනින් කියන එකයි අපි විශ්වාස කළේ. වතුකම්කරුවෝ ප‍්‍රතිවිප්ලවවාදියි කියලා ජවිපෙ කිව්වාම අපි තුන්දෙනාම හිටියෙ ඒකෙන් ඉවත් වන තත්ත්වයක. ඒ දවස්වල තමයි අපේ‍්‍රල් පිපිරීම සිදුවුණේ.

සිරගත වෙන්නෙ කොහොමද?

මම ගොවිජන පර්යේෂණ පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ වෙනවා. 71 මැයි වෙනතුරු එතැන වැඩ කළා. මැයි මාසෙදි තමයි සී.අයි.ඞී එක මාව සොයාගෙන එන්නෙ. මහ නඩුවේ 24 වැනි සැකකරු මම. විරාජ් දාහත් වැනියා. වැලිකඩ එච් වාට්ටුවේ තමයි මම හිටියෙ. ඉයන් වික‍්‍රමනායක තමයි අපිව හිර කළේ. ෆීලික්ස් ඩයසුයි අපේ තාත්තයි එක පවුලෙ කට්ටියනෙ. පරණ පවුල් කෝන්තරයත් මෙතන තිබුණා. එතකොට ඉයන්, ෆීලික්ස් සතුටු කරන්න මාව තද කරල දැම්මා. අවුරුදු 4 1/2ක් ඇතුළෙ.

පේ‍්‍රමදාස මහත්තයාට සමීප වෙන්නෙ කොහොමද?

හිරේ ගියාම මාව සේවයෙන් පහ කළා. ජේ.ආර් ආපු හැටියෙ සමාව දීලා රජයේ රැකියා කරලා හිරගත වූ අයට යළි ඉල්ලූම් කරන්න අයිතිය දුන්නා. ඒ චක‍්‍රලේඛය යටතේ මම නැවත පාරිපාලන සේවයට ගියා. ඇමති මොන්ටේගු ජයවික‍්‍රම. ඔහුගේ අමාත්‍යාංශ ලේකම් ලෙස සිටියෙ ඞී.බී අයි.පී.එස් සිරිවර්ධන. ඔහු දවසක් මට ෆෝන් කරලා කිව්වා අගමැතිතුමාට ඔයාව හමුවන්න ඕනෙ කිව්වා කියලා. කැබිනට් එකේදී මං ගැන සාකච්ඡා කරපු වෙලාවක පේ‍්‍රමදාස කියල තියනවා මට එයා ඕනෙ කියල. මහ නඩුවේදී අපි සාක්ෂි දෙන කාලෙ පේ‍්‍රමදාස ඇවිත් සටහන් ලියාගෙන යනවා. මිනිහා මාව නෝට් කර ගන්න ඇති. අනික් අය විසි කරන මිනිස්සු පේ‍්‍රමදාස වැද්ද ගන්නවනෙ. ඒවගේ මාව එයා නිවාස අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කරලා දැම්මා. පස්සෙ සභාපතිත් වුණා. 89 දී එයා ජනාධිපති වුණාට පස්සෙයි මම ජනසවිය කොමසාරිස් වෙන්නෙ.

සුසිල් මහත්තයා බැන්දෙ කොයි කාලෙද?

78 දී ඒ වෙනකල් ඉතින් මේ වගේ හුඟක් ප‍්‍රශ්නවලනේ මං හිටියෙ.

ඉතින් ඔක්ස්ෆර්ඞ්වලදිවත් කෙල්ලෙක් සෙට් වුණේ නැද්ද?

යාළුකම් තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් කියලා විශේෂ එකක් තිබුණේ නැහැ. ඒත් ස්තී‍්‍රන් ගැන අත්දැකීම් ලැබුවා. නිදහස් පරිසරයකුත් එහේ තිබුණනෙ ඉතින්. ඇත්තටම ඉතින් හැම අතින්ම අමතක කරන්න බැරි කාලයක් ඒක.

විමලනාත් වීරරත්න 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: