ඇමති බදුර්දීන්ගෙන් අධිකරණයට තර්ජන

22 Jul

රටපුරා අධිකරණ වර්ජනයක්

පසුගිය 18 වැනිදා මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගල්ගැසීම සඳහා පුද්ගලයන් මෙහෙයවූයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදුර්දීන් බව රාවයට වාර්තා වෙයි. මන්නාරම මහේස්ත‍්‍රාත් ජූඞ් සන් මහතා ලබා දුන් තීන්දුවක් වෙනස් කරන ලෙස ඉල්ලා බදුර්දීන් මහතා මහේස්ත‍්‍රාත්වරයාට දුරකතනයෙන් තර්ජනය කර තිබේ. අධිකරණය දුන් තීන්දුවක් වෙනස් කළහැක්කේ ඉහළ අධිකරණයකට පමණක් බව මහේස්ත‍්‍රාත්වරයා කියූ විට කෝපයට පත්වූ ඇමතිවරයා එසේ නම් එයින් මන්නාරම ගිනිගනු ඇතැ යිද කිසියම් බරපතළ සිද්ධියක් සිදුවනු ඇතැ යි ද මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කොට තිබේ.

පසුගිය 18 වැනිදා අධිකරණය ඉදිරියට රැස්වූ කලහකාරීන් පිරිසක් අධිකරණයට ගල් ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් අධිකරණයේ පැරණි ගොඩනැගිලිවලට හා ළඟදී විවෘත කිරීමට නියමිත නව ගොඩනැගිල්ලටද බරපතළ හානි සිදුවිය.

රාවයට වාර්තා වන අන්දමට, ප‍්‍රහාරයෙන් පසු සිය ජංගම දුරකතනයෙන් මහේස්ත‍්‍රාත්වරයා යළිත් ඇමතූ ඇමතිවරයා තමා කී පරිදි නියෝගය වෙනස් නොකළ නිසා ඇතිවූ ප‍්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට මහේස්ත‍්‍රාත්වරයාට සිදුවූ බවට පුරසාරම් දොඩා තිබේ.

මේ අතර පසුගිය 18 වැනිදා කොළඹ පැමිණි බදුර්දීන් ඇමතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතා හමුවී, මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා වහාම වෙනත් ප‍්‍රදේශයකට මාරු කර යවන ලෙස ඉල්ලා ඇත. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර, මහේස්ත‍්‍රාත්වරයා විසින්ද ඇමතිවරයාට එරෙහිව චෝදනා පත‍්‍රයක් එවා ඇති බවත් එම චෝදනා ගැන ඉදිරි පියවර ගන්නට බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාවේ දැනගන්නට ලැබුණේ මෙම සිදුවීමට සම්බන්ධ බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලකරමින් රට පුරා මහේස්ත‍්‍රාත් හා දිසා අධිකරණවල නීතිඥවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටීමේ පියවරක් ගන්නට සූදානම් වන බවත්ය.

මේ අතර මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාගේ සිදුවීම සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡුා කළ මහේස්ත‍්‍රාත් හා දිසා අධිකරණ විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය ඉදිරියේ නීතිමය පියවරක් ගතයුතු බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 සහ 111 (ඇ) ව්‍යවස්ථා යටතේ අධිචෝදනා පත‍්‍රයක් භාරදිය යුතු බවත් තීරණය කළ අතර ඒ අනුව කටයුතු කරන ලෙස පොලීසියෙන් සහ අනෙකුත් ආයතනවලින් ඉල්ලා සිටින බවට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ. මේ පියවර සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාවේද අනුමැතිය හිමිව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාරය දැනගැනීමට රිෂාඞ් බදුර්දීන් මන්ත‍්‍රීවරයා දුරකතනයෙන් ඇමතීමට ගත් උත්සාහය ඔහු දුරකතනය ක‍්‍රියාවිරහිත කොට තිබූ බැවින් ව්‍යර්ථ විය.

 

 

 

Leave a comment