දුමින්ද වීරයෙක් කළේ කවුද? මටත් ප‍්‍රශ්නයක්

24 Feb

ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි

ඔබ මැතිවරණ ව්‍යාපාරය දියත් කළේ රාජසිංහ පරපුරක අපි කියන පාඨය යටතේ. මම කැමතියි ඔබේ ඒ ඉතිහාසය දැනගන්න.

ඒක නතිකරම වචන හරඹයක්. හැබැයි ගැඹුරක් ඇතිව කරපු එකක්. මම ඉපදුණු මේ මුල්ලේරියාව ඓතිහාසික නගරයක්. ලෝකයේ යුද ඉතිහාසය තුළ සුවිශේෂී සටනක් මුල්ලේරියා සටන. අපේ අංගම්පොර සටන් කලාව උපයෝගී කරගෙන ටිකිරි කුමරු රාජසිංහ දියත් කළ අභීත සටනක්. එතකොට මගේ හදවත ඇතුළේ ඒ අතීතය තියෙනවා. අනෙක් අතට ආයේ හිතනකොට එදා පෘතුගීසි මේ සටන මර්දනය කළේ කොහොමද? ගැහැනු දීලා, සල්ලි දීලා, බොන්න දීලා, බයිනෙත්තු දීලා. එතකොට ඒ ක‍්‍රමවේදයම තමයි මෙදා දුමින්ද සිල්වා මුල්ලේරියාවේ කළේ.

මම එක පොතක කියවලා තිබුණා හැම යටගියාවක්ම, හැම හොල්මනක්ම නැවත අවුරුදු පන්හයසියයකින් මතුවෙනවා කියලා. මට ඒක කියවපුවහම හිතුණා මේ වෙන්නේ එදා දේම නේද කියලා. මම එදත් අදත් සැසඳුවා. මුලින්ම දුමින්දගේ නම බැලූවා. පෙළපත් නාමය බැලූවා. පෙළපත් නාමය රොමෑලෝ ඒ කියන්නේ පෘතුගීසි සම්භවයක් සහිත නමක්. පෘතුගීසින්ට තියන දේහ ලක්ෂණ බැලූවා. කැරපොතු සුද ඊළඟ පෘතුගීසි කළ වැඩ මේ හැමදෙයක්ම දුමින්දට සමානයි. මම මෙන්න මේක මුල්ලේරියා ජනතාවට පැහැදිලි කරලා දුන්නා. ඒ අය ඒක පිළිගත්තා. ඒක නිසා තමයි මට ලංකාවේ පළමුතැනට මනාප ගන්න පුළුවන් වුණේ. අපි රාජසිංහ පරම්පරාවේ නෙමෙයි. හැබැයි අපි රාජසිංහ පරපුරේ කට්ටිය. අපේ වාසගම අනුව අපේ කට්ටියත් රජ්ජුරුවන්ට වැඩ කළ කට්ටිය. ඒ නිසා තමයි මම කිව්වේ රාජසිංහ පරපුරක අපි කියලා. මට එහෙම කියන්න පුළුවන්නේ. එතකොට අපි එක්ක ඉන්න අය රාජසිංහ පරපුරේ අය. අපිට විරුද්ධ වෙන අය දොන් ජුවාන්ගේ මිනිස්සු.

ඔබ ඒ සියල්ලට වඩා ජනප‍්‍රියවන්නේ භාරත ලක්ෂ්මන් මන්ත‍්‍රීවරයාගේ ඝාතනය සමගයි. ඔහුට ඒ දේ වුණේ ඔබට උදව් කරන්න ආපු නිසා කියලා කෙනෙකුට කියන්න පුළුවන් නේද?

ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්නෙ. ඔව්. ඒ වෙලාවේ භාරත ලක්ෂ්මන් මන්ත‍්‍රීවරයා මගේ යාවජීව දේශපාලන ගුරුවරයා ඒ වෙලාවේ ආවේ මගේ ඡුන්ද ව්‍යාපාරය වෙනුවෙන්. හැබැයි ලකී අයියා ඡුන්ද වෙනුවෙන් මේ විදිහට ආපු පළමු අවස්ථාව මේක නෙමෙයි. මමද කවුද නෙමෙයි අපේ පක්ෂයේ හැමෝටම ඔහු උදව් කළා. එහෙම නැතිව දේශපාලනය කරන්න බැහැනේ. හැබැයි වැඬේ වුණේ මගේ ව්‍යාපාරයට ඇවිල්ලා ලකී අයියට වෙඩි කන්න වුණා. මේක විසිඑක්වෙනි සියවසනේ. කවුද හිතන්නේ ප‍්‍රාදේශීය ඡුන්දයක් වෙනුවෙන් තමන්ගේ පක්ෂයේ ප‍්‍රබලයෙක් මරයි කියලා. ඒත් හැමෝටම හිතන්නත් එක්ක ඒක වුණානේ. එතකොට ඒකේ වැරදිකාරයා මමද? මම නිසා මැරුණා වගේ චෝදනා මට කරන එක වැරදියිනේ.

ඔබ පිළිගන්නවා ඔබගේ ඡුන්ද ව්‍යාපාරයට ආ අතරතුර තමයි භාරත මියගියේ කියලා. එහෙමනම් අද භාරතගේ දියණිය විශාල අරගලයක් කරනවා එදා සිද්ධිය වෙනුවෙන්. ඒත් ඔබ ඒ තුළ නැහැ නේද?

භාරතගේ දුවගේ අරගලයවත්, එයාගේ නෝනගේ අරගලයවත් මට අදාළ නැහැනේ. මම දේශපාලනය කළේ භාරත ලක්ෂ්මන් මහත්තයා එක්ක. ඒ නිසා තමයි මම මේ අයව අඳුන ගත්තෙ. ආශ‍්‍රය කළේ. ඊයෙත්, අදත්, හෙටත් මේ භාරතගේ නෝනා, මේ භාරතගේ දුව කියන ගරුත්වය මට තියෙනවා. ඒ මිසක් මගේ දේශපාලනය එයාලත් එක්ක නැහැ. භාරත එක්ක තිබුණ දේශපාලනය එයාගේ දුවත් එක්ක, නෝනත් එක්ක, මාමලා බාප්පලා එක්ක, ගෙදර වැඩකාරයො එක්ක එහෙම මම ළඟ නැහැ. ඒක තිබුණේ භාරත එක්ක. ඒ භාරත මහත්තයා ජීවත්ව ඉද්දි එයාට මොන ගැටලූ, ප‍්‍රශ්න ආවත් එයා මේ විදිහට හැසිරුණේ නැහැ. ඒ යටගියාවත් මම ඕනතරම් දන්නවා. ඒ දේශපාලනයයි මම කරන්නේ. ඔහුගේ ඉවසීම ඔහු ගැටලූවලට මුහුණ දුන්නු විදිහයි මම ක‍්‍රියාත්මක කරන්නෙ. අර දේශපාලනය අරගලය මට අදාළ නැහැ.

භාරත නොකළ දේශපාලනයක් අද පවුලේ අය කරනවා කියලා ඔබ කියන්නේ ඇයි?

මේක වරදවා වටහා ගන්න එපා. සමහර දේවල් කතා නොකර නිහඬව ඉඳීම තමයි වඩා හොඳ. ඔහු මගේ යාවජීව දේශපාලන ගුරුවරයා. ඔහු මාත් එක්ක කියලා තියෙන දේශපාලනය, දේශපාලන චරිත මම දන්නවනේ. එදා භාරත මෙහෙමයි කියපු ඈතින් තියන්න ඕන කියපු අය අද ඒ පවුල වටා යමින් ඒ අයට උඩගෙඩි දෙනවා. මේවා කතා කිරීම ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී වගේ වැඩ. මම දකින විදිහනේ මේ. ඒක වැරදි ඇති. ඒ නිසානේ මම අහකට වෙලා ඉන්නේ. භාරතගෙන් දේශපාලනය ඉගෙන ගත්ත මම ඒ පවුලේ අයට ඒක නැහැ කියන්නේ වෙන මුකුත් නෙමෙයි. ඔය කලබලය භාරත ළඟ තිබුණේ නැහැ. දේශපාලනය කලබලයෙන් කරන්න බැහැ. භාරතගේ දේශපාලනය ඔයතරම් කලබල නැහැ.

ඔබව මුල්ලේරියාව දැන සිටියත් රටම දැනගත්තේ චණ්ඩියෙක් විදිහට. ඒක ටෙලිවිෂන් නාලිකාවක පෙන්නුවා. ඔබ දේශපාලනයන්ට ආ අලූතම.

ඕක තමයි මගේ දේශපාලන දිවියේ මා කළ වැරදි වැඬේ. අද ටෙලිවිෂන්වල ඕනතරම් වැඩසටහන් තියෙනවනේ හොරෙන් කැමරාව ගහලා මිනිස්සු අමාරුවේ දාලා හිනාවෙන්න. මට ඒ මොහොතේ කට්ටියක් එකතුවෙලා කළෙත් ඒකමයි. ඒකෙන් මම රටේම ප‍්‍රසිද්ධ වුණා. මම ප‍්‍රසිද්ධවෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ජනප‍්‍රියවෙන්න කැමති කෙනෙක්. මිනිහෙකුට කලිසම ගලවලා දාලා ටවුමක දිව්වත් ප‍්‍රසිද්ධ වෙන්න පුළුවන්. ජනප‍්‍රියවෙන්න බැහැ. මම එදා මගේ වරද හදාගත්තා. ආයේ මම එවැනි උගුල්වල වැටුණේ නැහැ. අත්දැකීම් නැතිකම. ආයේ එහෙම වෙන්නේ නැහැ.

ඔබ භාරතට කිට්ටු වුණේ කොහොමද?

මට පොඩි කාලේ ලොකු ආසාවක් තිබුණා යාපනේ යන්න. හැබැයි යාපනේ යන්න ඒ කාලේ ලේසි නැහැ. ඒත් ඒ කාලේ විජයකුමාරතුංග යාපනයේ යනවා. මේක මට තදින් දැනුණා. මම එදා ඉඳලා විජයට ලව් කරන්න ගත්තා. කොහොම වුණත් අපි පාසලෙන් අයින් වෙනකොට විජය ජීවතුන් අතර නැහැ. ඒත් මම විජයට කැමතියි. මේ කැමැත්ත තමයි මාව භාරත ළඟට එක්කගෙන යන්නේ. මොකද මම භාරතව දකින්නේ විජය විදිහට. ඒ හරහා දේශපාලනයට ආ මම ජනපති මහින්ද රාජපක්ෂගේ දේශපාලනය වැළඳගෙන උපරිමයෙන් වැඩ කළා. මට ඇතිවුණු එකම කනගාටුව මේ රටේම සාමයේ සමඟියේ අරුණලූ ඇති වුණත් ඒක කොළොන්නාවේ නැතිවීමයි. ඒ හැමදේම වුණේ දුමින්ද සිල්වා හින්දා.

ඔබ භාරතගේ සිද්ධියෙන් පස්සේ දේශපාලනයෙන් සමුගන්නා බවත් කියා තිබුණා.

මමත් පෘථග්ජන මනුස්සයෙක්. මට භාරතගේ මරණයෙන් පස්සේ දරා ගන්න බැරිවුණා. ඒ වගේම ඒ මොහොතේ සමහරු අපි අරවා ගත්තා. මේවා ගත්තා කියලා බොරු පැතිරුවා. මේ හැමදේම තුළ මට දේශපාලනය පිළිබඳ කලකිරීමක් ආවා. ගොඩක් අය අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ගත්තා. අපිත් තවම යෞවනයේ ඉන්නෙ. ඉතාම පොඩි තැන ඉඳලා මෙතන්ට ආපු මිනිස්සු. ඒ සියල්ලත් එක්ක කවුරුහරි මාව ඇදලා දාන්න යනකොට ඒ ගැන කලකිරීමක් ආවා. ඒත් ඒ ඔක්කොටම වැඩිය මට අමතක කරන්න බැහැ. මම දැන් ජනතාවට ණයයි. ලංකාවේ වැඩිම මනාප ගත්තේ මම. එතකොට ඒ ණය බේරන්න ඕන. මට එකපාරට අයින්වෙන්න බෑ.

ඔබ අද නිහඬව ඉන්නේ මේ දේවල් රැුකගන්න ඕන හින්දද?

ඕන දෙයක් ඕන කෙනකුට කියන්න පුළුවන්. මොන මඟුල වුණත් දේශපාලනයේ මේ පක්ෂයේ තමයි ඉන්නේ. දේශපාලනය එපා නම් හෙට ඉඳලා ගෙදර ඉන්නවා. අරකට මේකට ගිහිල්ලා දේශපාලනය කරන්නේ නැහැ.

ඔබගේ දේශපාලන ගුරුවරයා භාරත මියගියා. ඔබ ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ?

මට මොනවද කරන්න කියන්නේ. භාරතයේ නම් ගිනි සෑයට පනිනවනේ. එහෙම නැත්නම් පාරට බැහැලා චණ්ඩියෙක්, පිස්සෙක් වගේ කෑගහන්නද කියන්නෙ. භාරත මියගියහම මරණ කටයුතුවලට මම හැකි උපරිමය කළා. පහන් පිංකම් සහ පිංකම් ගොඩක් කළා. ඉදිරියේදී පිළිරුවක් හදනවා. එයා වෙනුවෙන් ඉදිරියේදී පුස්තකාලයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇරෙන්න පණදෙන්න බැහැනේ. කවුරුහරි භාරතට පණදෙන්න පුළුවන් මෙහෙම කළොත් කිව්වොත් මම ඒ ඕන දෙයක් කරනවා.

ඒ සියල්ල කළත් වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නෙත් නැහැනේ. එහෙම නම් වැරදිකරුවන් අධිකරණයට හෝ ගෙන යන ක‍්‍රියාවලියකට යායුතු නැද්ද?

මම වැඩ කරන්නේ මට දැනෙන ප‍්‍රමාණයටනේ. අපි අධිකරණයට ගියා කියමු. අධිකරණයට කරුණු වාර්තා කරන්නෙත් පොලීසියනේ. උසාවියේ මේ කාරණයට මොන තීන්දුවක් දෙයිද නොදෙයිද මම දන්නේ නැහැ. නමුත් මම මේ කාරණයේදී මම දන්න ප‍්‍රමාණය මොනම විදිහකින් හරි දුමින්ද සිල්වා නිදහස් වෙනවා නම් මේ රටේ නීතියක් නැහැ. පැහැදිලිවම දුමින්ද සිල්වා ඇතුළු පාතාල පිරිස ආයුධ අරගෙන මේ ගමේ හැම තැනකම ජෝගි නටලා, අපේ අම්මට, බිරිඳට ගහලා තව අයට ගහලා වියරුවෙන් තමයි භාරත ළඟට එන්නේ. එතකොට උසාවියේදී කියන්න පුළුවන් එහෙම දේවල් පොලීසිය වාර්තා කරලා නැහැනේ කියලා. ඔව්! ඇත්ත මම අපේ ගෙවල්වලට ඇවිල්ලා අම්මට, බිරිඳට ගැහැව්වට පොලීසියේ ඇන්ටි‍්‍ර දැම්මේ නැහැ. මොනාටද? කවදාහරි දුමින්ද සිල්වා නිවැරදිකරු කියලා කියනව නම් එදාට අපි දේශපාලනය තවදුරටත් කරනවද නැද්ද කියලා හිතනවා දුමින්ද වැරදිකාරයා මේ සංසාරයේදී මිනිහට නිදහස් වෙන්න බැහැ.

භාරතගේ ප‍්‍රශ්නයේදී ජනාධිපතිතුමා මැදිහත් වූ ප‍්‍රමාණය මදි කියලා ඔබ හිතන්නේ නැද්ද?

මම එහෙම හිතන්නේ නැහැ. මට තියෙන ලොකුම ප‍්‍රශ්නය මේක වෙන්න පුළුවන්. ඒත් ජනාධිපතිතුමාට රටේ තියෙන එකම ප‍්‍රශ්නය මේක නෙමෙයිනේ. එතුමා කෝටි දෙකක ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න ඕන. වෙච්ච දේ වුණානේ. ඔය දේ වෙයි කියලා ජනාධිපති හිතුවෙත් නැහැනේ මම හිතුවෙත් නැහැ. භාරත හිතුවෙත් නැහැනේ. ඉතින් ඒක දැන් ඇත්තු ලවාවත් අද්දන්න බැහැනේ. එහෙනම් අපි කරන්න ඕන එකම දේ මේ වගේ දේවල් නැවත නොවෙන්න වගබලා ගැනීම නේ.

දේශපාලනයේ හතුරෝ-මිතුරෝ නැහැ කියනවනේ. ආයේ දුමින්ද ආවොත් ඔබත් ඔහු සමග වැඩ කරාවි නේද?

දේශපාලනයේ හතුරෝ-මිතුරෝ නැහැ වෙන්න පුළුවන්. අහිංසක අංගුලිමාල වෙලා අංගුලිමාල රහත් වුණා තමයි. ඒ බුදුන්ගේ කාලේ. මේ අපේ කාලේ. දුමින්දට මගේ හිතේ ඉඩක් නැහැ. දුමින්ද මළොත් වළටත් හෙණ ගහන්න තරම් වැරදි කරපු මිනිහෙක්. ඒ අය එක්ක වැඩ නැහැ. රාජසිංහ පරපුර දොන් ජුවාන්ලා එක්ක වැඩ නැහැ.

දුමින්ද ඔබ සමග වෛර බැන්දේ ඇයි?

එයා කැමති දේශපාලනය මම නොකළ නිසා. ලංකාවේ පාතාලකාරයන්ට, කුඩුකාරයන්ට, දු ෂිතයන්ට යන්න පුළුවන් දේශපාලකයන් දෙන්නයි ඉන්නේ. ඉන් එක්කෙනෙක් දුමින්ද. අනෙක් කෙනා මම කියන්නේ නැහැ. ඒ නිසා දුමින්දට එක් නොවුණු නිසා මට බාධා කළා. මට ඒ අසලට එක්වන්න ඕනත් නැහැ.

භාරතගේ සිද්ධියත් සමග ලංකාවේ කුඩු හිඟයක් පැවතියා. ඇයි ඒ?

කුඩු ගෙන්වන ක‍්‍රමය ඇනහිටියොත් ඒක වෙනවනේ. ඒ ගැන මම කියන්න ඕන නැහැනේ. රටම දැක්කනේ.

ඔබ සමස්ත ලංකා ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති වුණා. මේවා ලැබෙන්නේ භාරත සිද්ධියෙන් පසු ඔබව සනසන්නද?

මාව මොකටද සනසන්නෙ? මම ගොඩක් අඩු වයසින් දේශපාලනයට ආවේ. 2002දී ලංකාවේ ළාබාලම මන්ත‍්‍රීවරයා මම 2006දී ළාබාලම සභාපතිවරයා. 2012 පළාත් පාලන මැතිවරණයේදී ලංකාවේ මුළු ඉතිහාසයේ වැඩිම මනාප ගත් සභාපතිවරයා. ඒ නිසයි මට තැන ලැබුණේ.

ඔබ පසුගියදා ජනපති මුණ ගැහුණා. ජනපති ඔබ ගැන සතුටුද? මොනවද කිව්වේ?

මාත් එක්ක අසතුටු වෙන්න දෙයක් නැහැ. මම වරදක් කරලා නැහැ. පසුගිය කාලේ ප‍්‍රශ්නත් එක්ක මම ඇදිලා ගිහිල්ලා. ඒ නිසා ජනපති මාව දැකලා පුදුම වුණා. ජනපති කිව්වා. මොකද මේ ඇෙඟ් හැටි, හොඳට කාලා බීලා ඇඟ හදාගෙන ලස්සනට ඉන්නවකෝ. කියලා. ඒ වගේම ජනාධිපති මම ගැන සතුටුයි. එතුමා මට කිව්වා කලබල නොවී ඉවසීමෙන් වැඩකටයුතු කරගෙන ඉන්න කියලා. මොකද මට හොඳ අනාගතයක් තියනවා කියලා.

අවසාන වශයෙන් මම කැමතියි ඔබෙන් දැනගන්නට ඔබ හිතන්නේ දුමින්දට එතරම් බලයක් ලැබුණේ කොහොමද?

ඒක තමයි මටත් තියන ප‍්‍රශ්නය. මම හොයන්නෙත් ඒක. මොකද ඇඟපත තිබුණට දුමින්ද කියන්නේ ගූ බය මිනිහෙක්. මම ඒක අත්විඳලා තියෙනවා. මීටර් 100 තනියම යන්න තරම් පෞරුෂයක් නැති කෙනෙක්. එහෙමනම් ඒ වගේ කෙනෙක් මේ තරම් පාතාලයක් අරගෙන කරන්න තියන ජඩ වැඩ කරගෙන, වෙඩි තියාගෙන ඉන්න එයාට ශක්තිය ලැබුණේ කොහොමද? ඒක තමයි මටත් තියන ලොකුම අවුල. කවුද දුමින්දව වීරයෙක් කළේ කියලා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: