පෙන්වූ අලාභයට වඩා විදුලි බිල වැඩිකරලා

17 Feb

ඉන්ධන මිල වැඩිවීම නිසා විදුලිය ජනනයේදී වාර්ෂිකව රුපියල් මිලියන විසි නවදාහක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට අතිරේකව දරන්නට සිදුවන බව පවසමින් රුපියල් මිලියන තිස්පන්දාහක පමණ මුදලක් සොයා ගැනීම සඳහා විදුලිබිල සඳහා ඉන්ධන ගැලපුම් ගාස්තුව තීරණය කර ඇතැයි ලංවිම සැපයුම් නිලධාරින්ගේ සංගමයේ ලේකම් දයානන්ද නිමලරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 21800ක පමණ මුදලකුත්, කර්මාන්ත අංශයේ පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 14250 ක පමණ මුදලකුත් ඉන්ධන ගැලපුම් ගාස්තුව වශයෙන් වර්ෂයකට උපයා ගැනීමට ලංවිමට හැකිවෙන බවයි.
ඉන්ධන මිල ඉහළ යෑම නිසා සැබෑ ලෙසම සිදුවන පාඩුව පියවා ගැනීමටත් වඩා වැඩි මුදලක් මේ ආකාරයට විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකිරීම සාමාන්‍ය ජනයාට තව තවත් බර පැටවීමක් බව නිමලරත්න මහතාගේ අදහසය.
ඔහු අවධාරණය කරන්නේ කර්මාන්ත අංශයේ ඉන්ධන ගැලපුම් ගාස්තු මිලද නිෂ්පාදන මිල වැඩිවීම නිසා අවසානයේ සාමාන්‍ය පාරිභෝගික ජනතාවටම ගෙවන්නට සිදුවන බවත් මුළු විදුලි පරිහෝජනයයෙන් 65%ක් භාවිතා කරන කර්මාන්ත අංශයට වඩා ඉතිරි 35% පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට ප‍්‍රතිශතයක් වශයෙන් ඉන්ධන ගැලපුම් ගාස්තුව වැඩියෙන් නියමකර ඇති බවයි.
කර්මාන්ත අංශයේ හෝටල් හා අනෙකුත් ප‍්‍රභේදවල ඉන්ධන ගැලපුම් ගාස්තුව 20%ක් බවත් එහෙත් ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ඉන්ධන ගැලපුම් ගාස්තුවල සාමාන්‍ය 38%ක් බවත්ය.
ඔහුට අනුව රටේ මුළු විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 50ක් වන අතර ඉන් ලක්ෂ 44 – 45 අතර ප‍්‍රමාණයක් සිටින්නේ ගෘහස්ථ පරිභෝගිකයන්ය.
විදුලි ඒකක 0 – 30 අතර සඳහා ඉන්ධන ගැලපුම් ගාස්තුව 25% ක් ද ඒකක 31- 60 දක්වා ඉන්ධන ගැලපුම් ගාස්තුව 35% ක්ද ඒකක 61 සිට ඉන්ධන ගැලපුම් ගාස්තුව 40% ක් වශයෙන්ද ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් අයකරයි.
කර්මාන්ත හා හෝටල් සඳහා ඉන්ධන ගැලපුම් ගාස්තුව 15% ක්ද පොදු කාර්ය විදුලිබිල් සඳහා ඉන්ධන ගැලපුම් ගාස්තුව 25% ක් ද අයකරයි.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පැවසුවේ මෙම ගණනයන් නිවැරදිව කිව නොහැකි බවත් ඉදිරියෙදී යම් වැඩි වීමක් වුවොත් එය සලකා සහ පහළ ගියහොත් එම මිල අඩු කිරීමට ද බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් මෙම ඇස්තමේන්තු සැකසුවේ තෙල් බැරලය ඩොලර් 100 අවස්ථාවේ බවත් අද වන විට බැරලය ඩොලර් 120 ක් පමණ වීම නිසා මෙම ගණනයන් වෙනස් විය හැකි බවයි.
මේ සම්බන්ධව කරන ලද විමසීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සභාපති අරුණ සේනක විජේපාල මහතා පැවසුවේ පෙර ඇස්තමේන්තු අලාභය බිලියන 45ක් පමණ වුවද මෙම තෙල් මිල යෑමත් සමග එම අලාභය බිලියන 70ක් පමණ විය හැකි බවත්, කොස්තා මහතාගේ ප‍්‍රකාශය මිලියන 29000ක් බව පැවසුවද එය වැරදි බවත්ය. එලෙසම ඔහු පැවසුවේ විවිධ බලාගාර සඳහා විවිධ ආකාරයේ තෙල් භාවිත කිරීම හේතුවෙන් මෙම ගණනයන් වෙනස් විය හැකි බවයි.

Leave a comment