Archive | මුල් පිටුව RSS feed for this section

සහනාධාර නොලැබුණහොත් ඉන්ධන මිල යළි ඉහළ යන ලකුණු

8 Apr

ඉන්දියානු ඔයිල් සමාගමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තම මිල ගණන් වැඩි කිරීමට හැකියාව ඇති බව වැඩ බලන ඛනිජ තෙල් අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා කියා සිටී.

එලෙස තෙල් මිල වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ඉල්ලූම වැඩිවී එමගින් ඛනිජ තෙල් සංස්ථාවට පාඩුවක් සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනටමත් පාඩු පිට තෙල් ලබාදෙන බැවින් තෙල් වැඩිපුර විකිණීම මගින් සිදුවන පාඩුව පියවීමට තෙල් මිල වැඩි කිරීමට දැනට අපේක්ෂා නොකළත් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළ තත්ත්වයන් මත තෙල් මිල වෙනස් විය හැකි බවත් ඔහු පැවසීය.

පෙට‍්‍රල් මිල රු. 15කින් ඉහළ දැමීමට පිළිබඳව තම සමාගම කළ දැනුම්දීමට රජයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැති බව ලංකා අයි ඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් කුමාර් මහතා පැවසීය.

රජය පනවා ඇති බදු හා රුපියලේ අගය අවප‍්‍රමාණය හේතුවෙන් ඉන්ධන ආනයනයේදී සමාගමට පාඩු ලැබීමට සිදුව ඇති බවත්, එහෙයින් සමාගමට අවශ්‍ය නම් ඉන්ධන මිල ඉහළ දැමිය හැකි බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවට රජයට තම සමාගමට බදුවලින් නිදහසක් ලබාදීමට ඇති හැකියාව විමසා අදාළ දැනුම්දීම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට කළ බවද සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසුවේ ස්වාධීන මිල නියාමන කොමිසම හා ඛනිජ තෙල් මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකවීම අහෝසි කිරීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් (CPL) LIOC සමාගමටත් සිතූ පැතූ ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට අවස්ථාව උදාවී ඇති බවයි.

LIOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමූ පසු CPC තෙල් ලබාගැනීමට පාරිභෝගික යන් පෙළඹෙනු ඇති බවත් පාරිභෝගිකයන් ප‍්‍රමාණය වැඩි වුවත් පාඩු මිලට ඉන්ධන ලබාදීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට පත්වනු ඇතැ යි ද ආනන්ද පාලිත මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති z ස්කෝර් ගැන වාර්තාවක් ඉල්ලයි

31 Mar

2011 අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටී දරුවන්ට ඉසෙඞ් අගය ගණනය කිරීමේ දී කිසියම් අසාධාරණයක් හෝ සුළු වැරදීමක් සිදුවී ඇත්නම් එම ඉසෙඞ් අගය ගණනය කිරීමේ සූත‍්‍රය සංශෝධනය කිරීමට ද ඒ පිළිබඳව සියලූ දරුවන්ට දැනට කිසියම් සැකයක් ඇති වී තිබේ නම් එය ඉවත් කිරීමට ද අදාළව පිළිගත හැකි තාක්ෂණික පැහැදිලි කිරීමක් දෙසතියක් තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් අධ්‍යාපන ඇමතිවරයාට දන්වා ඇත.

2011 අපොස ( උසස් පෙළ) විභාග ප‍්‍රතිඵල විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට සහ විභාග දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පති‍්‍රකාවකට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් 2012.02.21 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් අධ්‍යාපන ඇමතිවරයාට ඒ බව දන්වා ඇත.

කමිටු නිර්දේශ මගින් ඉදිරියේදී විෂය නිර්දේශ දෙකක් සහ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් සම්බන්ධව කටයුතු කිරීමේදී ඉසෙඞ් අගය තීරණය කළ යුතු ආකාරය නිර්දේශ කොට ඇති බවත්, මෙම නිර්දේශ නිසා සිසු දරුවන් තුළ 2011 වසරේ යොදාගත් ඉසෙඞ් අගය ගණනය කිරීමේ ක‍්‍රමවේදය ගැටලූවක් පවතින බවට සැකයක් මතුවිය හැකි බවත් එම සංදේශයේ සඳහන් කොට ඇත. එමනිසා රජය, දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බැවින් කිසියම් සුළු හෝ වැරදීමක් සිදු වී ඇතිනම් 2011 වසරේ ඉසෙඞ් අගය ගණනය කිරීමේ සූත‍්‍රය සංශෝධනයකොට සියලූ සිසු දරුවන්ට ඒ පිළිබඳව දැනට කිසියම් සැකයක් ඇති වී ඇත්නම් එය ඉවත් කිරීමට පිළිගත හැකි තාක්ෂණික පැහැදිලිකිරීමක් කිරීමට කටයුතු කළ යුතු බව එම සංදේශයෙන් දන්වා ඇත.

ඒ අනුව 2011 වසරේ ඉසෙඞ් අගය ගණනය කිරීම සඳහා යොදාගෙන ඇති ක‍්‍රමවේදය, ශිෂ්‍ය කණ්ඩායම් දෙකෙහි එක් එක් ශිෂ්‍යයා පිළිබඳව එය බලපාන ආකාරය වෙන වෙනම අධ්‍යයනය කොට දරුවන්ට පෞද්ගලිකව තම ලකුණ, මධ්‍යන්‍යය, සම්මත අපගමනය සහ ඒකාබද්ධ මධ්‍යන්‍යය විනිවිද භාවයකින් යුතුව බලාගත හැකි ආකාරයට ඉදිරිපත් කළ යුතු බවය. එය අධ්‍යයනය කිරීමේදී කිසියම් ගැටලූවක් ශිෂ්‍යයකුට ඇතිවී තිබෙන බවට තහවුරු වන්නේ නම් එය නිවැරදි කිරීමට කටයුතු කිරීම, රජය සහ සමාජය කෙරෙහි දරුවන් නැගූ විශ්වාසය ගොඩ නැඟීමට අත්‍යවශ්‍ය කරුණක් බවත් එම සංදේශයෙහි සඳහන් කර ඇත.

එමනිසා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකොට දරුවන් හා දෙමාපියන් තුළ ඇතිවී තිබෙන අවිනිශ්චිතතාවන් ඉවත් කිරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව දෙසතියක් තුළ අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වන ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමතිවරයාට දන්වා ඇත.

ඉසෙඞ් අගය ගණනය කිරීමේ ක‍්‍රමවේදය සැකසීමේ කි‍්‍රයාවලිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදුකරන බැවින් ජනාධිපතිවරයා විසින් එවන ලද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයට පිළිතුරු දී ඇතිදැයි රාවය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ 2011 වසරේ අපොස (උසස් පෙළ) විභාගයට එම ක‍්‍රමවේදය සැකසූ ආචාර්ය, මහාචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මෙම සංදේශයට පිළිතුරු සපයා අධ්‍යාපන අමාත්‍යවරයාට භාර දුන් බවය.

රාවය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ඇමතීමේදී ඔහු පැවසුවේ දැනට මේ පිළිබඳව නඩුවක් පවරා ඇති බැවින් කිසිවක් පැවසිය නොහැකි බවය.

විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසුවේ, විභාග දෙපාර්තමේන්තුවට අදාළ එම සංදේශයේ සඳහන් කරුණුවලට තමා පිළිතුරු සැපයූ බවය.

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතුළත්ව අමාත්‍යාංශ වාර්තාවක් සති දෙකක් තුළ කැබිනට් මණඩලයට ඉදිරිපත් කළ බවය. එහි අන්තර්ගතය පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය.

ඇමරිකානු යෝජනාව ජයගනී

25 Mar

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක් හා විපක්ෂව ඡන්ද 15 ක් ලැබීමෙන් සම්මත විය. රටවල් 8 ක නියෝජිතයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම යෝජනාව විවාදයට ගැනීම වැළැක්වීම සඳහා වන ප‍්‍රති යෝජනාවක් රටවල් 14 ක අනුග‍්‍රහය ඇතිව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කියුබාව විසින් ඉදිරිපත් කරන ලද නමුත් එය සාර්ථක නොවීය.

කියුබාව, චීනය, රුසියාව,ඉක්වදෝරය, උගන්ඩාව, ෆිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, බංග්ලාදේශය ඇන්ගෝලාව සහ මාලදිවයින මෙම යෝජනාවට විරුද්ධව කරුණු දැක්වූහ.

ඇමරිකාව, යුරෝපා සංගමය වෙනුවෙන් බෙල්ජියම, නයිජීරියාව, උරුගුවේ ඇතුළු රටවල් කිහිපයක් යෝජනාවට පක්ෂව කතා කළහ.

ඡන්දය විමසීමේදී ඉන්දියාව මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දීම විශාල වැදගත්කමක් ගත්තේය.

ආසියානු කලාපයට අයත් සාමාජික රටවල් 13 අතරින් බංග්ලාදේශය, චීනය, ඉන්දුනීසියාව, කුවේට්, මාලදිවයින, පිලිපීනය, කටාර්, සවුදි අරාබිය, තායිලන්තය යන රටවල් නවය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර මැලේසියාව, කිර්ගිස්ථානය සහ ජෝර්දානය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ආසියානු රටවල් අතරින් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ ඉන්දියාව පමණි.

අප‍්‍රිකානු කලාපයට අයත් සාමාජික රටවල් 13 අතරින් බෙනින්, කැමරූන්, ලිබියාව, මුරුසිය, නයිජීරියාව යන රටවල් 5 යෝජනාවට පක්ෂ වූහ. ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා ෆාසෝ, ජිබුටි, සෙනෙගාල් යන රටවල් 5 ඡන්දය දීමෙන් වැළකී සිටියහ. යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ අප‍්‍රිකානු රටවල් අතරින් මොරිටේනියාව, කොන්ගෝව සහ උගන්ඩාව යන රටවල් 3 පමණකි.

ලතින් ඇමරිකානු රටවල් අතරින් චිලී, කොස්ටාරිකා, ගෝතමාලා, මෙක්සිකෝව, පේරු සහ උරුගුවේ යන රටවල් 6 යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කියුබාව සහ ඉක්වදෝරය විරුද්ධව ඡන්දය දුන්හ.

නැගෙනහිර යුරෝපය රටවල් අතරින් පෝලන්තය, මොල්දාවා ජනරජය, චෙක් ජනරජය, රුමේනියාව සහ හංගේරියාව යෝජනාවට පක්ෂ විය. එම කලාපයේ රටවල් අතරින් යෝජනාවට විරුද්ධ වූයේ රුසියානු ෆෙඩරේෂණය පමණකි.

බටහිර යුරෝපීය සහ අනෙකුත් රටවල් අතරින් ඔස්ටි‍්‍රයාව, බෙල්ජියම, චෙක් ජනරජය, ඉතාලිය, නෝර්වේ, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සියල්ලම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ විශේෂ යෝජනාව විවාදයට ගන්නා සැසිවාරය 21 වැනිදා ජිනීවා වේලාවෙන් 10.30 ට පමණ ආරම්භ වූ අතර කවුන්සිලයේ සභාපතිවරිය සැසිවාරය ආරම්භ කළාය.

මානව හිමිකම් කවුන්සිලය සඳහා වන ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය එලීන් චෙම්බර්ලේන් ඩොනහියු විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළාය.

මෙම යෝජනාව මෙවර සාකච්ඡාවට නොගෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සැසිවාරය දක්වා කල්දාන ලෙස යෝජනාවක් ලංකාව වෙනුවෙන් වෙනත් රාජ්‍යයන් 14 ක ගේ අනුග‍්‍රහය ඇතිව කියුබාව විසින් ඉදිරිපත් කරන ලදි.

ඇමරිකානු තානාපතිනිය එයට පිළිතුරු දෙමින් කියා සිටියේ යෝජනාවට සංශෝධන ඉදිරිපත් කර එයට ඡන්දය විමසනු වෙනුවට යෝජනාව ප‍්‍රමාද කිරීමට කටයුතු කිරීම පිළිගත නොහැකි බවය. එබැවින් මෙම අතුරු යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස ඇය අනෙක් සාමාජික රටවල් වලින් ඉල්ලා සිටියාය. ඉන්පසු කියුබාව විසින් මෙම ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා ඡන්දය දෙන ලෙස සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලදි.

‘මෙම යෝජනා කෙටුම්පත රටක ස්වෛරීභාවය බිඳදැමීමක් මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ විශ්වසනීය භාවය බිඳ දැමීමකි. මෙම යෝජනාව මගින් වෙනත් රටවල්වලට විශේෂයෙන්ම සංවර්ධනය වෙන රටවලට අහිතකර ලෙස බලපාන පූර්වාදර්ශයක් ඇති විය හැකියි. එබැවින් මෙම යෝජනාව පරාජය කළ යුතුය” කියුබානු තනාපතිවරයා පැවසීය.

ඉන්පසු යුරෝපා සංගමය වෙනුවෙන් කතා කළ බෙල්ජියම් තානාපතිවරයා මෙම ඇමරිකානු යෝජනාවට සහාය පළකරමින් කතා කළේය. තමන් මෙම යෝජනාවට සහාය දෙන බවත්, එය සමඟ සහයෝගයෙන් ක‍්‍රියාකරන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළ බෙල්ජියානු තානාපතිවරයා සිවිල් සමාජයට එරෙහිව රට තුළදී සහ ජිනීවා හිදී එල්ල කරනලද ප‍්‍රහාර හෙළා දකින බවත්, එම සිවිල් සමාජ නියෝජිතයන්ට ආරක්ෂිතව තම මව් රටට යාමට අවකාශය සලසන ලෙසත් ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඉන්පසු චෙක් ජනරජයේ තානාපතිවරයා ඇමරිකානු යෝජනාවට පක්ෂව කතා කළේය.

ඉන්පසු චීන තනාපතිවරයා ශ‍්‍රී ලංකාවට පක්ෂව සහ මෙම යෝජනාවට එරෙහිව කරුණු දැක්වීය.

වෙනත් අදහස් දැක්වීමත් සිදු නොවූ බැවින් මෙම යෝජනාවට විෂය වන රට වන ශ‍්‍රී ලංකාවට කවුන්සිලයේ සාමාජිකයකු නොවුණද කරුණු දැක්වීම සඳහා විනාඩි 3 ක් ලබා දෙන ලදි. මෙහිදී මහින්ද සමරසිංහ ඇමැතිවරයා මෙම යෝජනාවට තමා ප‍්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ වන බවත්, වැරදි පූර්වාදර්ශයක් ඇති වීමට තමා විරුද්ධ බවත් කීය. වීදුරු ගෙවල්වල සිටින අය අනුන්ට ගල් නොගැසිය යුතු බවද ඔහු කීය. අපට කාලය සහ අවකාශය අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් තොරව ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

ඡන්ද විමසීම පැවතියේ ඉන්පසුවය.

ක‍්‍රියාත්මක නොකළොත් සම්බාධක

ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව ජයගැනීම නිසා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඊට අමතරව එම කොමිෂන් වාර්තාවේ ප‍්‍රමාණවත් ලෙස සාකච්ඡුා කර නැති ජාත්‍යන්තර නීතියට අදාළ කටයුතු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පියවර ගැනීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් වූ අධීක්ෂණ කටයුතු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැවරෙන බවත් විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අදහසය.

තම වගවීම පිළිබඳ කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවට අවුරුදු දෙකක පමණ කාලයක් බොහෝවිට ලැබෙනු ඇති බවත්, එම කාලයේදී අදාළ කටයුතු සිදුකිරීමට බැරි බව ප‍්‍රකාශ වුවහොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව මීටත් වඩා තදබල යෝජනාවක් ඉදිරිපත් විය හැකි බවත්, එහි ප‍්‍රතිඵල වශයෙන් ආර්ථික සම්බාධක වැනි තහංචි ශ‍්‍රී ලංකාවට එරෙහිව පැනවිය හැකි බවත් එම නීතිවේදීන්ගේ අදහසය.

ඉන්දීය ස්ථාවරය පහදයි

අමිල ප‍්‍රදීප්

ඉන්දියාව ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සුළු ජන අයිතීන් වැනි කාරණා සම්බන්ධව රජය සතුව ඇති අවධානය වැඩි දියුණු කිරීමටත්, ශ‍්‍රී ලංකාව විසින්ම විසඳුමක් ලෙස දෙන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව උනන්දුකිරීමටත් බව ඉන්දියාව පවසා ඇත.

මාර්තු 22දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති එච්.එම්. ක‍්‍රිෂ්ණා මේ බව සඳහන් කොට ඇත්තේ ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඉන්දියාව ඡන්දය ලබාදීම පිළිබඳව හේතු දැක්වීමකදීය.

ශ‍්‍රී ලංකාව තමන්ට 13 වන සංශෝධනයට එහා ගිය විසඳුමක් පිළිබඳව පැවසූ බවත්, මීට අමතරව මානව හිමිකම් සහ වගවීමේ ක‍්‍රියාවලිය ප‍්‍රවර්ධනය කරන බව පැවසුවත්, මෙම ඇමරිකානු යෝජනාව ඒ සියල්ලට අඩිතාලමක් වනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා පවසා ඇත.

හමුදා ප්‍රවෘත්ති වාරණය නීති විරෝධියි

19 Mar

මින් ඉදිරියට ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රවෘත්ති කෙටි පණිවුඩ ආකාරයෙන් ග‍්‍රාහකයන් වෙත යැවීමට පෙර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධීක්ෂණයෙන් පසුව යැවියයුතුයැයි පුද්ගලයකු විසින් තීරණය කිරීම සම්පූර්ණ නීති විරෝධී ක‍්‍රියාවක් බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප‍්‍රකාශ කර සිටියි.

ඒ මහතා පෙන්වාදෙන්නේ මෙය පූර්ව වාරණයක් බවත්, මෙවැනි තීරණයක් ගැනීමට ලංකාව තුළ කිසිම නීතියක් නැති බවත්ය. ඔහු පෙන්වාදෙන්නේ එවන් වාරණයක් හෝ අධීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ කිසිදු නීතියක් නොමැති තත්ත්වයක් තුළ ලක්ෂ්මන් හුළුගල්ලේට හෝ කැබිනට් මණ්ඩලයටවත් එවැනි තීරණයක් ගෙන මාධ්‍ය නිදහස වාරණය කළ නොහැකි බවයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ මෙවැනි ආණ්ඩුව පුම්බාගන්නා ක‍්‍රියාවන් ප‍්‍රතික්ෂේප කළ යුතු බව හා මේවාට අනුව ක‍්‍රියාකිරීමෙන් වැළකිය යුතු බවය.

මේ පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා පැවසුවේ මෙය මාධ්‍ය වාරණයක් බවත්, එලෙසම මෙය නීති විරෝධී ක‍්‍රියාවක්ද බවයි. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කරමින් තොරතුරු වාර්තා කළයුතු කරුණු යටපත් කිරීමට ගත් පියවරක් බවත්, පසුගිය සතිය තුළ රටේ බරපතළ ලෙස කතාබහට ලක්වූ පොලිස් නිලධාරියකු අල්ලස් ගැනීමත්, හමුදා සෙබළුන් තිදෙනකු මියයෑමත් හා සුදුවෑන් රථයක් අත්අඩංගුවට ගැනීමත් යන වැදගත් තොරතුරු මහජනතාවට ගලායෑම වැළැක්වීමේ අරමුණින් ක‍්‍රියාත්මක කළ නීති විරෝධී තීරණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව අදහස් දක්වන සිරස රූපවාහිනී නාලිකාවේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ සුසිල් කිඳෙල්පිටිය මහතා කියා සිටින්නේ මෙය නොනිල වාරණයක් බවත්, නව මාධ්‍ය කෙතරම් වාරණයට ලක්කිරීමට උත්සාහ කළද එම තොරතුරු නව මාධ්‍ය හරහාම නැවතත් ජනතාව වෙත ළඟා වන බවත්ය. එලෙසම අප රටේ මාධ්‍ය විවිධ ස්වයං වාරණ තුළ වාර්තාකරණයේ යෙදුණද මිනිසුන් නව මාධ්‍ය හරහා තොරතුරු ලබාගැනීම මෙවැනි නීති රීති මගින් වාරණය කළ නොහැකි බවයි.

දෙරණ නාලිකා විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා පවසන්නේ මාධ්‍ය ආයතනවලට ස්වාධීනව හා වගකීමෙන් යුතුව කටයුතු කිරීමට අවස්ථා සලසාදීම කළයුතු බවයි. මෙවැනි තීරණයක් ගැනීමට ආසන්නතම හේතුව ලෙස ඒ මහතා පෙන්වාදෙන්නේ පසුගියදා සිදුවූ හමුදා සොල්දාදුවන් මියයෑම බවයි. එහෙත් ඒ අවස්ථාවේ සියලූ මාධ්‍ය ආයතන වාර්තා කළේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලබාදුන් නිල තොරතුරු අනුව බවයි.

මේ පිළිබඳව නිවුස් රේඩියෝ ප‍්‍රධානී සුදේෂ් රොද්‍රිගු මහතා පවසන්නේ රජය විසින් තමන්ට යම් තීරණයක් නියෝග කළ විට එය පිළිපැදීම කළයුතු බවයි. නමුත් මේ හරහා සිදුවන්නේ ප‍්‍රවෘත්ති මාධ්‍ය හරහා මහජනතාවට ගලායෑම ප‍්‍රමාදවීමත් අනවශ්‍ය දික්ගැසීමක්ද සිදුවන බවයි. එලෙසම මෙවන් තීරණයක් ගත් බව මාධ්‍ය මගින් ප‍්‍රකාශ වුවද බ‍්‍රහස්පතින්දා පස්වරු පහ ප‍්‍රවෘත්ති විකාශය තෙක්ම එවැනි ලිඛිත හෝ නීත්‍යනුකූල නිවේදනයක් තමන් වෙත නොලැබී නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඇමරිකාවේ යෝජනාව – පක්ෂව හා විපක්ෂව රටවල් පෙළගැසේ

10 Mar

ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනාවට පක්ෂව හා විපක්ෂව ලෝකයේ රටවල් මේ වනවිට පෙළගැසෙමින් සිටිති.

බි‍්‍රතාන්‍ය, නෝර්වේ, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව, කැනඩාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය ආදී රටවල් ඇමරිකානු යෝජනාවට පක්ෂව මේ වනවිටත් අදහස් පළකර ඇති අතර චීනය, පාකිස්තානය හා රුසියාව ශ‍්‍රී ලංකාවට පක්ෂ ස්ථාවරයක සිටිමින් අදහස් පළ කර ඇත.

කලාපීය බලවතාද වන ශ‍්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව මේ වනවිටත් ශ‍්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ප‍්‍රකාශ කර නැති අතර විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවට විරුද්ධ වන ලෙස තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට බලපෑම් එල්ල වී ඇත.

බි‍්‍රතාන්‍ය නැවත වරක් ප‍්‍රකාශ කර ඇත්තේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව හා එහි සොයා ගැනීම් පිළිබඳව තමන් කලකිරීමට පත්වූ බවත් එහි දක්වා ඇති නිර්දේශ ශ‍්‍රී ලංකාව ක‍්‍රියාවට නැංවිය යුතු බවත්ය.

මීට අමතරව නෝර්වේ ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම් පිළිබඳව තමන් නිරන්තරයෙන් නිරීක්ෂණයේ සිටින බවයි. එමෙන්ම ඇමරිකා යෝජනාවට සහාය දක්වන බවත් දන්වා ඇත. ප‍්‍රංශයද ඇමරිකා යෝජනාවට සහාය දක්වන බව ප‍්‍රකාශ කොට ඇති අතර, ඔස්ටි‍්‍රයාව ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන නිරන්තර නිරීක්ෂණයෙන් සිටින බවයි. ස්විට්සර්ලන්තය ප‍්‍රකාශ කර ඇත්තේ යෝජනාව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අධීක්ෂණයක් බවයි. එහෙත් ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට කිසිවකුට බැරි බවය. පාකිස්තානයද ශ‍්‍රී ලංකාවට පක්ෂ බව දන්වා ඇති අතර රුසියාව ප‍්‍රකාශ කර ඇත්තේද ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බාධා කිරීමට කිසිවිටෙක ඉදිරිපත් නොවන බවය.

මේ අතර ඇමරිකාව විසින් මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවල් වෙත ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය විසින් නිල නිවේදනයක් නිකුත් නොකරමින් පෙර ස්ථාවරයේම සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා ප‍්‍රකාශ කර සිටියි.

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ අනුව රජය විසින් කටයුතු කරගෙන යන අවස්ථාවේ ජාත්‍යන්තරය බාධා කිරීම හරහා එම කටයුතු නිසි ලෙස ඉටු කරගැනීමට නොහැකි බවත් අනවශ්‍ය අවස්ථාවක මෙවැනි යෝජනා ගෙන ඒම මගින් ශ‍්‍රී ලංකා රජය අපහසුතාවට පත්වන බවත් ඒ නිසා දැනට ක‍්‍රියාත්මක කටයුතු ඉදිරියටත් කරගෙන යන බවත්, ඒ සඳහා ඕනෑවට වඩා කලබල නොවන බවත් ඒ මහතා කියයි.

ඇමරිකානු යෝජනාව

ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය වෙත මාර්තු 7 වැනිදා ඉදිරිපත් කළ සංශෝධිත යෝජනාවලිය මෙසේය. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ජාත්‍යන්තර ගිවිසුම් හා අනෙකුත් අදාළ ප‍්‍රඥප්තීන්ගේ මඟපෙන්වීම අනුව, රටක් ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී ජාත්‍යන්තර නීතියට, ජාත්‍යන්තර මානව හිමිකම්, සරණාගත හා මානුෂවාදී නීතිය අනුගමනය කිරීමට හා සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව ද යළි සහතික කරමින්ද,

ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය සඳහා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරුණු, නිර්දේශයන් දායක කරගත හැකි බව අවධාරණය කරමින්ද, නීති විරෝධී ඝාතන, අතුරුදන්කරවීම් පිළිබඳ විශ්වසනීය පුුළුල් විමර්ශනවල අවශ්‍යතාව, උතුරු ප‍්‍රදේශයෙන් හමුදා ඉවත් කර ගැනීම, ඉඩම් ආරවුල් විසඳීම සඳහා අපක්ෂපාතී යාන්ත‍්‍රණයක් පිහිටුවීම, රැඳවුම් ප‍්‍රතිපත්ති නැවත ඇගයීමට ලක්කිරීම, ස්වාධීන හා සිවිල් ආයතන ශක්තිමත් කිරීම, පළාත් අතර බලය විමධ්‍යගත කිරීම සඳහා දේශපාලන විසඳුමකට එළඹීම, සියලූදෙනාගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප‍්‍රතිසංස්කරණ පැනවීම යන උගත් පාඩම් ප‍්‍රතිසන්ධාන කොමිසමේ ව්‍යුහාත්මක නිර්දේශයන් උණුසුම් ලෙස පිළිගනිමින්ද අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බව සැලකිල්ලට ගනිමින්ද පහත ඉල්ලීම් ඉදිරිපත් කරමු.

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව සඳහන් කර ඇති ව්‍යුහාත්මක නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා රජය කැඳවීම හා සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට යුක්තිය, සාධාණත්වය, වගවීම හා ප‍්‍රතිසන්ධානය විශ්වසනීය හා ස්වාධීන කි‍්‍රයාමාර්ග හරහා සුරක්ෂිත කිරීම තුළින් ශී‍්‍ර ලංකා රජය තමාට අදාළ නෛතික බැඳීම්වලට ඇපකැපවීමට අත්‍යවශ්‍ය හා අතිරේක පියවරයන් ගැනීමට සැලැස්වීම.

ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ හා උගත් පාඩම්, ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීම සඳහා ශී‍්‍ර ලංකා රජයට ඇති කි‍්‍රයාකාරී සැලසුම විස්තරාත්මකව හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටීම.

මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මේ සඳහා විශේෂ කි‍්‍රයාපටිපාටියක් ඉදිරිපත් කිරීමටත්, එය ශී‍්‍ර ලංකා රජය විසින් පිළිගැනීමටත්, පිහිටුවීමටත් ඒ පිළිබඳ උපදෙස් හා අවශ්‍ය තාක්ෂණික හා වෘත්තීය සහාය ලබාදීමට ද මහ කොමසාරිස් කාර්යාලය ධෛර්යමත් කරන අතර මානව හිමිකම් කවුන්සිලයේ 22 සැසිවාරයේදී ඉහත කී සහාය ශී‍්‍ර ලංකාවට ලබාදීම පිළිබඳ වාර්තාවක් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කිරීම.

ජිනිවා සමුළුවට ටීඑන්ඒ ලිපියක්

6 Mar

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු හෝ සහභාගී වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තාවේ.

පක්ෂයේ ඒකමතික තීරණය ලෙස මුලින්ම ප‍්‍රකාශයට පත්කැරුණේ ජිනීවා සමුළුවට සහභාගී නොවීමට වුවත් මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරයකගේ අදහස් මත එම සමුළුවට ද්‍රවිඩ ජාතික සන්ධානය සහභාගී වීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

එසේ වුවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුගේ අත්සනින් පක්ෂ නායකවරයාට එවන ලද ලිපියක් මගින් මේ පිළිබඳව පක්ෂ සාමාජිකයන්ට විවිධ මත තිබිය හැකි බවත් එමනිසා පක්ෂයේ මතය විමසිය යුතු බවත් දක්වා ඇත.

මෙම මතය විමසීම සඳහා මාර්තු 02දා ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම රැුස්වීමට නියමිත අතර එහිදී ජිනීවා සමුළුවට යෑම පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.

කෙසේ වුවද පක්ෂයේ බහුතර මන්ත‍්‍රී පිරිසකගේ මතය වී ඇත්තේ ජිනීවා සමුළුවට යායුතු බව වන අතර පක්ෂයක් ලෙස නොවුවද පුද්ගලයන් ලෙස හෝ එහි යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තාවේ.

මේ පිළිබඳව ‘රාවය’ කළ විමසුමකදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පැවසුවේ සියල්ල තීරණය වන්නේ පක්ෂයේ ඒකමතික තීරණය මත බවයි.

මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය මගින් ආර්. සම්බන්දන් මහතාගේ අත්සනින් යුතුව මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවල් 47කට ලිපියක් යොමුකර ඇත.

ශ‍්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කිරීමට ශ‍්‍රී ලංකා රජය අපොහොසත් වූ බවත්, ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය තවමත් පියවර නොගන්නා බවත්, මේ සම්බන්ධයෙන් ජිනීවාහි පැවැත්වෙන 19වැනි මානව හිමිකම් සමුළුවේදී වගවීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ යුතු බවත්, ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් නීතිමය අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට ශ‍්‍රී ලංකා රජය යොමුකරන ලෙසත් එම ලිපියේ දක්වා ඇත.

ශ‍්‍රී ලංකා රජයට සහයෝගය පළ නොකරන ලෙසත් ශ‍්‍රී ලංකා රජයට නිසි වැඩපිළිවෙළක් සඳහා බල කිරීමට උපකාරය ලබා දෙන ලෙසත් එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මේ පිළිබඳව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේ තමන් මානව හිමිකම් සමුළුවේ සාමාජිකයන් සියලූ දෙනාට මෙම ලිපිය යැවූ බවත්, රටවල් කීපයක් ඒ සම්බන්ධ යහපත් ප‍්‍රතිචාර දැක්වූ බවත්ය.