උපාධිධාරීන් 15,000කට රැකියා දීමේ රාජ්‍ය වැඩපිළිවෙළ යටතේ ලබාදෙන පත්වීම් සියල්ලක්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ලැයිස්තුවලට අනුව ලබාදී ඇති බව වාර්තා වෙයි.
උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවාගැනීම සඳහා 2012.03.30 දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙස පුවත්පත් දැන්වීම් පළවුවද මේ වන විට බඳවා ගතයුතු උපාධිධාරීන්ගේ නම් ලැයිස්තු දිවයිනේ සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති බවත් ඉන් බොහෝ දෙනකු මේ වන විට බඳවාගෙන ඇති බවත් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිලධාරීහු රාවයට ප‍්‍රකාශ කළෝය.
උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ දේශපාලන හිතවත්කම් මත බඳවා ගැනීමේ ලැයිස්තු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදීම ඉතාම වැරදිසහගත බවත් එය උපාධිධාරීන් අතරමං කිරීමක් බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි.
මේ පිළිබඳව මහනුවර, ගාල්ල, මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් සම්බන්ධ කරගනිමින් රාවය කළ විමසීම්වලදී ඔවුහු ප‍්‍රකාශ කළේ බඳවා ගැනීමේ ක‍්‍රියාපටිපාටිය කුමක්ද යන්න තමන් නොදන්නා බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ලබා දුන් උපාධිධාරී නාමලේඛනවල අන්තර්ගත උපාධිධාරීන්ට මේ වනවිට පත්වීම් ලබාදී ඇති බවත්ය.
මේ අනුව මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් උපාධිධාරීන් 1538 දෙනකු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 20කට අනුයුක්ත කොට ඇති අතර මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් 600 ගණනකට පත්වීම් ලබාදී ඇත.
මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතා සම්බන්ධ කරගැනීමට රාවය දැරූ දැඩි උත්සාහය ව්‍යර්ථ වූ අතර එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයකු වන සමන් ප‍්‍රියදර්ශන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වනවිට ලබාදී ඇති කිසිදු උපාධිධාරී පත්වීමක් ස්ථිර පත්වීම් නොවන බවත් රුපියල් 10,000ක මාසික වැටුපට මාස 6ක පුහුණු කාලයක් සඳහා බඳවා ගැනීම් සිදුකළ බවත්ය.
ඔවුන් යොමු කොට ඇත්තේ කාර්යාල පුහුණුවකට පමණක් බවත් ඉන් අනතුරුව පුවත්පත් දැන්වීම් පළකොට සම්මුඛ පරීක්ෂණ පවත්වා ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බවද ඔහු ප‍්‍රකාශ කළේය.
දැනට පුහුණු කාලසීමාවකට හෝ බඳවාගෙන ඇති උපාධිධාරීන් බඳවා ගනු ලැබුවේ කුමන පදනමකින්දැ’යි රාවය ප‍්‍රශ්න කළ විට ඔහු ප‍්‍රකාශ කළේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවත් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසන ලෙසත්ය.
මෙසේ බඳවාගෙන ඇති උපාධිධාරීන් කිසිදු විභාගයකට හෝ විධිමත් සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් කොට නොමැත. ඔවුන්ට නියමිත තනතුරක්ද නොමැති අතර නියමිත කාර්යභාරයක් ද නොමැත.
මෙම බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය පිළිබඳව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගෙන් රාවය විමසීමක් කළ අතර ඔහු ප‍්‍රකාශ කළේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ඉතා යහපත් දෙයක් වුවත් මෙම බඳවාගැනීමේ පටිපාටිය ඉතාම වැරදිසහගත බවයි.
ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේ 1989 කැරැල්ලට හේතුවූයේද රජයේ මෙවන් ක‍්‍රියාකාරීත්වයන් බවත් මෙවන් දේ සිදුවීම නැවත එවැනි පරිපාලනයකට ජනතාව පොළඹවන්නක් විය හැකි බවත්ය.
මේ වනවිට දිවයින පුරා සිටින රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 42,000කි.
