මුල් පිටුව
හමුදා ප්‍රවෘත්ති වාරණය නීති විරෝධියි
මින් ඉදිරියට ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රවෘත්ති කෙටි පණිවුඩ ආකාරයෙන් ග‍්‍රාහකයන් වෙත යැවීමට පෙර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධීක්ෂණයෙන් පසුව යැවියයුතුයැයි පුද්ගලයකු විසින් තීරණය කිරීම සම්පූර්ණ නීති විරෝධී ක‍්‍රියාවක් බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප‍්‍රකාශ කර සිටියි.
ඒ මහතා පෙන්වාදෙන්නේ මෙය පූර්ව වාරණයක් බවත්, මෙවැනි තීරණයක් ගැනීමට ලංකාව තුළ කිසිම නීතියක් නැති බවත්ය. ඔහු පෙන්වාදෙන්නේ එවන් වාරණයක් හෝ අධීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ කිසිදු නීතියක් නොමැති තත්ත්වයක් තුළ ලක්ෂ්මන් හුළුගල්ලේට හෝ කැබිනට් මණ්ඩලයටවත් එවැනි තීරණයක් ගෙන මාධ්‍ය නිදහස වාරණය කළ නොහැකි බවයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ මෙවැනි ආණ්ඩුව පුම්බාගන්නා ක‍්‍රියාවන් ප‍්‍රතික්ෂේප කළ යුතු බව හා මේවාට අනුව ක‍්‍රියාකිරීමෙන් වැළකිය යුතු බවය.
මේ පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා පැවසුවේ මෙය මාධ්‍ය වාරණයක් බවත්, එලෙසම මෙය නීති විරෝධී ක‍්‍රියාවක්ද බවයි. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කරමින් තොරතුරු වාර්තා කළයුතු කරුණු යටපත් කිරීමට ගත් පියවරක් බවත්, පසුගිය සතිය තුළ රටේ බරපතළ ලෙස කතාබහට ලක්වූ පොලිස් නිලධාරියකු අල්ලස් ගැනීමත්, හමුදා සෙබළුන් තිදෙනකු මියයෑමත් හා සුදුවෑන් රථයක් අත්අඩංගුවට ගැනීමත් යන වැදගත් තොරතුරු මහජනතාවට ගලායෑම වැළැක්වීමේ අරමුණින් ක‍්‍රියාත්මක කළ නීති විරෝධී තීරණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධව අදහස් දක්වන සිරස රූපවාහිනී නාලිකාවේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ සුසිල් කිඳෙල්පිටිය මහතා කියා සිටින්නේ මෙය නොනිල වාරණයක් බවත්, නව මාධ්‍ය කෙතරම් වාරණයට ලක්කිරීමට උත්සාහ කළද එම තොරතුරු නව මාධ්‍ය හරහාම නැවතත් ජනතාව වෙත ළඟා වන බවත්ය. එලෙසම අප රටේ මාධ්‍ය විවිධ ස්වයං වාරණ තුළ වාර්තාකරණයේ යෙදුණද මිනිසුන් නව මාධ්‍ය හරහා තොරතුරු ලබාගැනීම මෙවැනි නීති රීති මගින් වාරණය කළ නොහැකි බවයි.
දෙරණ නාලිකා විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා පවසන්නේ මාධ්‍ය ආයතනවලට ස්වාධීනව හා වගකීමෙන් යුතුව කටයුතු කිරීමට අවස්ථා සලසාදීම කළයුතු බවයි. මෙවැනි තීරණයක් ගැනීමට ආසන්නතම හේතුව ලෙස ඒ මහතා පෙන්වාදෙන්නේ පසුගියදා සිදුවූ හමුදා සොල්දාදුවන් මියයෑම බවයි. එහෙත් ඒ අවස්ථාවේ සියලූ මාධ්‍ය ආයතන වාර්තා කළේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලබාදුන් නිල තොරතුරු අනුව බවයි.
මේ පිළිබඳව නිවුස් රේඩියෝ ප‍්‍රධානී සුදේෂ් රොද්‍රිගු මහතා පවසන්නේ රජය විසින් තමන්ට යම් තීරණයක් නියෝග කළ විට එය පිළිපැදීම කළයුතු බවයි. නමුත් මේ හරහා සිදුවන්නේ ප‍්‍රවෘත්ති මාධ්‍ය හරහා මහජනතාවට ගලායෑම ප‍්‍රමාදවීමත් අනවශ්‍ය දික්ගැසීමක්ද සිදුවන බවයි. එලෙසම මෙවන් තීරණයක් ගත් බව මාධ්‍ය මගින් ප‍්‍රකාශ වුවද බ‍්‍රහස්පතින්දා පස්වරු පහ ප‍්‍රවෘත්ති විකාශය තෙක්ම එවැනි ලිඛිත හෝ නීත්‍යනුකූල නිවේදනයක් තමන් වෙත නොලැබී නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.