කතුවැකිය
ජය පරාජය කුමක් වුවත්
ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට අදාළව ඇමරිකාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවෙන් ලැබෙන ජය පරාජය කුමක් වුවත් සන්සුන්ව හා ඥානාන්විතව ක‍්‍රියාකිරීමේ වගකීමක් ශ‍්‍රී ලංකාවට ඇත්තේය. විරෝධය පෑම්, උද්ඝෝෂණය කිරීම්, තෝරාගත් රටවල භාණ්ඩ වර්ජනය කිරීම් වැනි දේවල් නිසා වියහැක්කේ තිබෙන අවුල්සහගත තත්ත්වය තවදුරටත් වර්ධනයවීම පමණය. ඒ දේවල් නිසා මෙතෙක් සිදුවූයේද ප‍්‍රශ්නය තව තව අවුල්වීම මිස, ලිහිල්වීම නොවේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නය නිසා දැන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තිබෙන්නේද අස්ථාවර තත්ත්වයකය. එය ඉන්දියාවේ යහපතට හේතු නොවනවා සේ ම ශ‍්‍රී ලංකාවේ යහපතටද හේතුනොවන්නේය.
විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද මේ අවස්ථාවේදී බොරදියේ මාළුබාන තැනකට නොයා යුතුය. මේ ආණ්ඩු ක‍්‍රමය තුළ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව ඇති ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතර පවත්නා වෛරසහගත අන්තර් සම්බන්ධයද රටේ අවුල් උග‍්‍ර කිරීමට මිස තිබෙන ආරාවුල් නිරාකරණය කරගැනීමට ආධාර වී නැත.
එල්ටීටීඊයට එරෙහිව තීරණාත්මක යුද්ධයකට යන්නට පෙර විරුද්ධ පක්ෂය දැනුවත් කොට ඔවුන්ගේද සහාය ලබාගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබුණේය. එහෙත් ආණ්ඩුවේ පැත්තෙන් ආණ්ඩුව එම වගකීම ඉටු කළේ නැත. ආණ්ඩුව එම වගකීම ඉටුනොකර තිබියදී වුවත් රටක තීරණාත්මක යුද්ධයක් කැරෙන අවස්ථාවක බාධාකිරීම්වලට නොගොස් එම යුද්ධයට සහායදීමේ වගකීමක් විරුද්ධ පක්ෂවලටද තිබුණි. විරුද්ධ පක්ෂ අතින්ද ඒ යුතුකම ඉටු නොවීය. එය ආණ්ඩුව පෙරළන්න සුදුසු අවස්ථාවක් ලෙස ක‍්‍රියාකරන විට ආණ්ඩුවද සිය ආරක්ෂාව සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විරුද්ධ පක්ෂය මන්ත‍්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එකතු කරගත්තේය. මෙම දෙපක්ෂයේ ක‍්‍රියා හා ප‍්‍රතික‍්‍රියා මෙම දෙපක්ෂය අතර පවත්නා වෛරය කුළුගන්වන සාධකයක් ලෙස ක‍්‍රියා කළේය.
ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවී තිබෙන චෝදනාවලදීද සියලූ දේශපාලන පක්ෂ එකතු වී ආණ්ඩුවක් වශයෙන් නොව රටක් වශයෙන් මුහුණ දෙන තැනකට ගියේ නම් ඒ අභියෝගය ජයගැනීමේ හැකියාව ශ‍්‍රී ලංකාවට තිබුණේය. ඒ සඳහා වන හරි දැක්මක් ආණ්ඩුවට සේ ම විරුද්ධ පක්ෂවලටද නොතිබුණේය.
තිස් අවුරුදු යුද්ධයක් අවසන් කිරීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර බලපෑමක් නැතිව වුවත් රට නැවත අලූතෙන් ප‍්‍රතිසංවිධානය කරන තැනකට යායුතුව තිබුණේය. නිදහස ලැබී අවුරුදු 64ක් වනවිට ඉන් අඩකට ආසන්න කාලයක් රට ජීවත්වී තිබෙන්නේ ලේ වැගිරීම් මැද්දේය. මේ ලේ වැගිරීම් කෙරෙහි බලපෑවේ විදේශ හේතු නොව දේශීය හේතූන්ය. ත‍්‍රස්තවාදී නැගිටීම් ඇතිවූයේ දෙමළ උතුරේ පමණක් නොව සිංහල දකුණේද ඇතිවිය. ආයුධ සන්නද්ධ කැරලි මර්දනය කිරීම අත්‍යවශ්‍ය වුවත් කැරලි ගැසුවේ අපේ රටේම තරුණ පිරිස් විසින් නිසා එවැනි තත්ත්වයකට ඔවුන් තල්ලූ වූයේ ඇයිද කියා බැ?රුම් ලෙස සොයාබැලීමේ යුතුකමක් හා වගකීමක් රටක් වශයෙන් අපට තිබෙන්නේද?
නිදහස ලබාගැනීමෙන් පසු ලැබී තිබූ ජාතික රාජ්‍ය තත්ත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමය සාර්ථකව ඉදිරියට ගෙනයෑම සඳහා එක්සත් ජාතියක් ඇති කරගැනීම සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වුවත් එම අවශ්‍යතාව තේරුම් ගෙන එය සම්පූර්ණ කිරීමට රට සමත් වූයේ නැත. කෙළවරක් නැති ලේ වැගිරීම් ඇතිවීම හා ආණ්ඩු ක‍්‍රමයේ විකෘති පරිණාමය එහි දායාදයක් ලෙස සැලකිය හැකිය. කැරලි තිබෙන අවස්ථාවක එක්සත් ජාතියක් ඇති කරගැනීමට හෝ දේශපාලන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමේ හැකියාවක් රටට නොතිබුණද දැන් එම අවශ්‍යතා දෙක සම්පූර්ණ කිරීමේ හැකියාව රටට ලැබී තිබෙන්නේය.
දැන් තිබෙන අවුල් ජයගැනීමට අපට අවශ්‍ය නම් එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ අරමුණ ඇතිව දේශපාලන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කරන අතර ජනවර්ග අර්බුදය ඇතුළු අනෙකුත් ප‍්‍රධාන ප‍්‍රශ්නවලට විසඳුම් සොයන තැනකට රට යායුතුය.